මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන්වහන්සේ ද?

මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන්වහන්සේ ද?
Photo by Cherry Laithang / Unsplash

තිස්ස ජනනායක ගුරුතුමාගේ අදහසට ගරු කරමින් ඉහත පැනයට දේව මැවීමත්  පරිනාමයත් පිළිගන්නා කිතුනුවකු ලෙස මෙසේ පිලිතුරක් ලබා දීමට අදහස් කරමි. ඉතා වගකීමෙන් කිව යුත්තේ ඉහත පැනයෙහි අඩංගු සියලුම වචන (ලෝකය, මැවුම්කරුවා, සර්වබලදාරී සහ දෙවියන්වහන්සේ) අර්ථයෙන් දාර්ශනික සහ දේව ධර්ම ශාස්ත්‍රීය බැවින් එයට සාර්ථක පිළිතුරක් දියහැක්කේ ජීව විද්‍යාවෙන් ද, දර්ශනවාදයෙන් ද නැතහොත් දේව ධර්ම ශාස්ත්‍රයෙන් ද නැමැති පැනය ඉස්මතු වේ. ඇත්තෙන්ම මේ සියලු විෂයයන් මගින් පිළිතුරු සැපයිය හැක. ඒ සඳහා එක් එක් විෂය පඨයේ සීමාවන් සහ විද්‍යාවන්ගේ පරස්පරතා මැනවින් වටහාගෙන පදාර්ථ දෝෂ (Categorical Confusions) තර්කාභාස (Logical Fallacies) මග හැර ප්‍රවිශ්ඨ වියයුතු වේ. මැවීම නැමැති පාරභෞතික තලයේ දාර්ශනික ගැටලුවක් ආනුභූතික (Empirical) විද්‍යාත්මක ක්‍රමවේදයට සීමා කොට විග්‍රහ කිරීම මෙවැනි ගාම්භීර පැනයකට කරන අසාධාරණයකි.

ජීව විද්‍යාව නැමැති විද්‍යාවකින් පාරභෞතික (Metaphysical) දාර්ශනික මානයන් ඉවත් කර එය භෞතිකවූ යථානුභූතවාදී (Positivistic) ක්‍රමවේදයකට සීමා කිරීම මානව චින්තනය ලඝු කිරීමකි. දෙවියන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැනත් අර්ථාන්විත ලෙස කථාකළ හැක්කේ ජීවවිද්‍යාව තුළ නොව දර්ශනවාදය සහ දේව ධර්ම ශාස්ත්‍රය නැමැති විෂයයන් තුළයි. සෞන්දර්යය විෂයයන් විද්‍යාත්මකදැයි විමසීම පදාර්ථ දෝශයකි. මැවීම විද්‍යාත්මකදැයි විමසීම එයට ආසන්නයි. මැවීමේ අර්ථය පරිණාමයේ අර්ථය හා පටලැවීම නාඹර මනසට අනතුරුදායක වන්නේ  දාර්ශනික සහ දේව ධාර්මික මානයන් එවැන්නවුන් නොසලකන බැවිනි. ඩාවිනියානු පරිනාමය වැනි භෞතික නූතන සංකල්පයක් මැවීම වැනි පාරභෞතික පෞරාණික සංකල්පයක් හා සසඳන විට දාර්ශනික සහ ආගමීක බුද්ධිමය සම්ප්‍රදායයන්ට ගරුකිරීම සමබර ගුරුවරයෙකුගෙන් බලාපොරොත්තුවේ.

තිස්ස ගුරුතුමා ඩාවින්ගේ “සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය” අධ්‍යනාත්මකව කියවා තිබුනත් බයිබලයත් එලෙසම කියවා ඒ තුළ මැවීම පිළිබඳ සංකල්පය හෝ එය දේව ධර්මයේ උගන්වන ආකාරය පිළිබඳව අධ්‍යනය කර නොමැති බව දේශනයෙන් පැහැදිලිවේ. බයිබලයේ මැවීමේ කථාව දේව ධාර්මික හා දාර්ශනිකව නොහැදෑරූ සිසු සිසුවියන්ට ඔහු තම දේශනයේදී ඉදිරිපත් කරන්නේ මැවුම්වාදයට එරෙහි සම්භාවනීය මෙන්ම පෞරාණිකම තර්කයයි (Classical Argument). එය අලුත් දෙයක් නොවේ. එනමුත් නූතන දේවධර්මය තුළ පරිණාමය සහ මැවීම අතර ප්‍රබුද්ධ මෙන්ම වටිනා සංවාදයන් පවතින නමුත් ඔහු ඒ බවක් නම් අඟවන්නේවත් නැත. එය ඔහුගේ පක්ෂග්‍රාහී බව (Bias) හෙළිකිරීමකි. (පෞද්ගලිකව මමත් මේ වගේ විද්‍යා ගුරුවරයෙකුගේ ගොදුරක් බවට පත්වූ අතර ඔහු සාමාන්‍ය පෙළ අවධියේදී දෙවියන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ විශ්වාසය බොහෝ දුරට විනාශ කර දැමීය. එනමුත් මැවීමේ සංකල්පයේ සියලු පැති විද්‍යාව, දර්ශනය සහ දේව ධර්මයට අනුව අධ්‍යයනය කිරීමෙන් පසුව මගේ සැකයන් දුරු කර ගැනීමට මට හැකි විය). පරිනාමවාදය මෙලෙස ආගම්වාදී ලෙස පක්ෂව හෝ විපක්ෂව ඉගැන්වීම ශාස්ත්‍රීය තලයේ කිසිසේත්ම පිළිගත නොහැක.

පරිණාමය යනු විශ්ව මූලාරම්භය පිළිබඳ ප්‍රභව න්‍යායක් නොව (Theory of Origins/Creation) ජීවින්ගේ භෞතික පැවැත්ම, සංරක්ෂණය හා වෙනස් වීම පිළිබඳව න්‍යායයක් (Theory of Change/Conservation) පමණි. ඩාවින් බයිබලයේ මැවීම තේරුම් ගත්තේ සතුන් නොවෙනස්වන (Species Fixity) ලෙස අද සිටින ලෙසටම මවා ඇතැයි බයිබලය උගන්වන්නේයැයි යන වැරදි මතය ඇතිවයි. අද අප දන්නා පරිණාම න්‍යාය බයිබලය උගන්වන්නේ නැත. එනමුත් බයිබලයේ සඳහන් මැවීම (Biblical Creation) පරිණාමයට පටහැනිද නැත. නමුත් තිස්ස ජනනායක වැනි බයිබලයේ මැවීමේ කථාව හා දේවධර්ම පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති ජීව විද්‍යා විශාරදයන්, බයිබලය “ජීවී විශේෂ වෙනස් වීමට ලක් නොවේ” නැත්නම් දෙවියන් වහන්සේ මැවූ සත්ව විශේෂ ඉන්පසු කිසිදාක වෙනස් නොවේ යැයි බයිබලය උගන්වන බව අනුමාන කරති. චාල්ස් ඩාවින්ට බයිබලයේ මැවීමේ කථාව ගැටලුවක් වූයේ මෙම වැරදි ප්‍රපංචය නිසයි (A Strawman Argument based on a false premise).

18 වන සියවසේ බොහෝ ආංගල සැක්සනියානු (Anglo Saxon) දේවධර්මාචාර්යවරුන් සහ දාර්ශනිකයන් බයිබලය වචනාර්ථයෙන් (Literal Meaning) පිලිගත් නිසා ඩාවින්ගේ න්‍යාය සමඟ ඔවුන්ට ගැටලු ඇති විය! තිස්ස ජනනායක ගුරුතුමා විසින් කළ යුත්තේ මැවීම හා පරිණාමය ගැන කතා කිරීමට පෙර කිතුනු සභාවන් පරිනාමවාදය පිලිබඳව දරන ස්ථාවරයන් දැනගෙන ඉන්පසු ඒ ගැන අදහසක් ඉදිරිපත් කිරීමයි. තවම ලෝකය ගැන හරියට නොදන්නා දරුවන්ට මධ්‍යස්ථ නොවී දෙපැත්තේම කරුණු නොසලකා ඉගැන්වීම විද්‍යාව නොවන බව මට හැඟේ. මැවීම සහ දෙවියන්වහන්සේ පිළිබඳව මෙම දේශනය තුළ ඔහුගේ පක්ෂාග්‍රාහී පැහැදිලි කිරීම ගැන මම කනගාටු වෙමි. මන්ද බයිබලය හා කතෝලික සභාවේ පරිණාමය පිළිබඳ නිළ ඉගැන්වීම නොදැන මැවීම ගැන කරුනු මෙලෙස ප්‍රසිද්ධ සමාජ ජාල මාධ්‍යයේ ඉදිරිපත් කිරීම ජනතාව මෙන්ම සිසුන් ද නොමග යැවීමකි.

තිස්ස ගුරුතුමා "මැවීම" යයි සිතා සිටින දේ ක්‍රිස්තු ධර්මය තුළ කිසි විටෙකත් උගන්වන්නේ නැත. (මේ පිළිබඳව බොහෝ කිතුනුවන්ටද වැටහීමක් නැත) මැවුම්වාදයේ සංකීර්ණතා සහ සූක්ෂ්ම ක්‍රියාවලි ගැන අන්තර් ආගමීක දැනුමක් ඔහු වැනි නොකිතුනුවන්ට ද බොහෝ කිතුනුවන්ටද නොමැති බව මම දනිමි. කතෝලික සභාවේ නිර්මානවේදය (Catholic Doctrine of Creation) මූලධර්මවාදී මැවුම්වාදයක් (Fundamentalist Creationism) නොවන බව ඔහු නොදනී! ආදරණීය තිස්ස ගුරුතුමනි, ඔබ "ජීවීන්ගේ සම්භවය" නැමැති ඩාවින්ගේ පොත කියවා නැති මිනිසුන්ව විවේචනය කරන, නමුත් ඔබත් එම වැරැද්දටම ගොදුරු වීම කණගාටුදායක වේ. ඔබද බයිබලය හෝ කතෝලික සභා දේව ධර්මය කියවා නැති අතර කතෝලික දේවධර්මය හා මැවීමේ කථාවේ දේව ධර්මය ද නිසි ලෙස හදාරා නැති බව පෙනේ! විද්‍යාව පිළිබඳ ඔබේ දැනුම විශිෂ්ට බව අවිවාදයෙන්ම පෙනෙන නමුත් දර්ශනය (බෞද්ධ දර්ශනය හැර) හා දේවධර්මය පිළිබඳ ඔබේ දැනුම සතුටුදායක නැත, එබැවින් ඔබ අධ්‍යයනය නොකළ දෙයක් මෙලෙස ප්‍රසිද්ධියේ කතා කිරීම අපක්ෂපාතී අධ්‍යාපනයට පටහැනි දෙයකි.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ගැනීමට කරුණාකර පහත සදහන් අදහස් කියවන්න:

ජීවී විශේෂ ස්ථාවරයි, වෙනස් වීම් වලට ලක් නොවේ යැයි බයිබලය උගන්වයිද?

ප්‍රථමයෙන් බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් ප්‍රථම මැවීමේ කථාවේ සිංහල අනුවාදය මෙලෙස උපුටා දක්වමි:

“ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක.” (උත්පත්ති 1:20-22).

සමහරු මෙය කියවා “ජීව විශේෂ නොවෙනස්ව ස්ථාවරයි” හෝ දෙවියන් වහන්සේ සෑම ජීවී විශේෂයක්ම “අද පවතින ලෙසම” මැවූ බවත් සත්ත්ව විශේෂ කිසිවක් කිසිදා වෙනස් නොවන බවත් බයිබලය උගන්වන බව සිතති. ආංගල කිතුනු සම්ප්‍රදාය තුළ චාල්ස් ඩාවින් ද බයිබලය වැරදි ලෙස තේරුම් ගත්තේ මෙලෙසයි. තිස්ස ගුරුතුමාද එම වැරදි වැටහීම මත සිට පරිණාමය දෙවියන්වහන්සේගේ මැවීමට පටහැනි දෙයක් ලෙස උගන්වයි. එය සාවද්‍ය උපකල්පනයක් මත සිට ගොඩනගන තර්කයකි.

දකුණු ඇමරිකානු වෙරළට නුදුරුව පිහිටි ගලාපගොස් දූපත් වල ඩාවින් නිරීක්ෂණය කළේ දූපතේ සිටින සතුන් සහ පක්ෂීන් විශේෂ ප්‍රධාන භූමියේ සිටින එම විශේෂ වලට සමීපව සමාන වූ බවයි. කෙසේ වෙතත්, ඒවා හරියටම සමාන නොවන බවත් දිටීය. ගොඩබිමේ හා දූපතේ එකම විශේෂයේ සතුන් විවිධ වෙනස් වීම් වලට ලක්වීම සොයා ගැනීම තුලින් ඩාවින් විශ්වාස කළේ ඔවුන් සියල්ලන්ම පොදු විශේෂයකින් (Common Ancestral Species) පැවතෙන බවය. එක් විශේෂයක් තවත් විශේෂයක් බවට පත්වන සංක්‍රාන්ති විශේෂ (Transitional Species) තමා නිරීක්ෂණය කළ බව ඔහු තවදුරටත් විශ්වාස කළේය. මෙය සත්‍යයක් නම් ඩාවින් කුඩා කල සිට තේරුම්ගෙන තිබූ “ජීව විශේෂ වෙනස් නොවේ” යන මතය බිදෙනු ඇත. “ජීව විශේෂ වෙනස් නොවේ” යන මතය එකල විද්‍යාත්මක මතයක් (Ideology in Science) මිස සැබෑ ලෙසම බයිබලයේ ඉගැන්වීමක් නොවීය.”  මෙහිදී බිඳවැටෙන්නේ විද්‍යාව තුල මෙන්ම ඩාවින් තුළම තිබූ වැරදි මතයක් මිස බයිබලයේ මැවීම පිළිබඳ ඉගැන්වීම නොවන බව ඔහුගේ පොත විශ්ලේෂණාත්මකව කියවන ඔනෑම කෙනෙකුට පැහැදිලි වේ.

ඩාවින් බයිබලය පවසන බව වැරදියට වටහා ගත් ජීව විශේෂ වෙනස් වීමට ලක් නොවේ යන මතය ශුද්ධ ලියවිල්ලෙහි කොතැනකවත් උගන්වනු නොලැබේ. ඇත්ත වශයෙන්ම, එම මතය දහඅටවන සියවසට පෙර කිතුනු සභා දේව ධර්මය තුළ පවා පුළුල් ලෙස ඉගැන්වීමට තරම් හේතුවක් නොතිබුණි. සිල්වියා බේකර් මෙසේ ලියයි.

"ජීව විශේෂ වෙනස් විය නොහැකිය යන අදහස නිසැකවම දහඅටවන සියවසට පෙර කිතුනු සභාවේ තිබූ අදහසක් නොවීය. වඩා සංකීර්ණත්වයේ දිශාවට නොව, නමුත් ජීවින් පරිසර තත්ත්ව හා වෙනස් විය හැකි යැයි විශ්වාස කිරීම බයිබලය සමග එකග යැයි එකල සලකනු ලැබීය.” (Sylvia Baker, Bone of Contention, Revised edition, Sunnybank, Queensland, Australia, Evangelical Press: 1976, p. 7).

දහඅටවන ශතවර්ෂයේදී ජීවී විශේෂ වෙනස් විය නොහැකිය, ඒවා ස්ථාවරය යි යන මතය ප්‍රවර්ධනයට වගකිව යුතු පුද්ගලයා ජීව විද්‍යාඥ කාල් ලිනේයස් ය. ඔහු ජීව විශේෂයන් නිර්වචනය කර ඇති ආකාරයට බයිබලය උපුටමින් ජීවින් වෙනස් විය නොහැකි බව කියා සිටියේය. මෙම මතය පුළුල් ලෙස ප්‍රසිද්ධ වී මිනිසුන් පිළිගෙන මෙම අදහස විකාර සීමාවන් කරා ගියේය. එක් කාලයකදී මානව විශේෂ හැටක් ඇති බවට මත පැතුරුණු අතර, ඒ සෑම එකක්ම වෙන වෙනම දෙවියන් මැවූ බව ද කීහ! (යටත්විජිතවාදී පසුබිමක මෙය එක්තරා අධිරාජ්‍යවාදී බටහිර කුලවාදයක් (Racism) සඳහා විද්‍යාව අපයෝජනය කළ මොහොතකි). ඩාවින් ගලාපගෝස් දූපත් වල සිය නිරීක්ෂණ සිදු කරන කාලවකවානුවේ,ජීව විශේෂ වෙනස් විය නොහැකි ය යන අදහස විද්‍යාත්මක මෙන්ම දේවධර්මවාදී වේද සත්‍යයක් බවට ගොඩනගා තිබිණි. ජීවීන් වෙනස් විය හැකි බවට සාක්ෂි දුටු විට ඩාවින් පැවසුවේ මෙය එකල විද්‍යාඥයන්ට කීම මිනීමැරුමක පාපොච්චාරණය කිරීමක් වැනි බවයි.

ඇත්තෙන්ම ගැටලුව වූයේ බයිබලය පවසන දේ වරදවා වටහා ගැනීමයි. උත්පත්ති පොතේ සිංහලෙන් “නන් වැදෑරුම්” (different kinds) ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය (min) 'මින්' යන්නයි. බයිබලයේ උත්පත්ති පොත මුලින් ලියා ඇත්තේ හේබ්‍රෙව් බසිනි. එහි අඩංගු “නා නා විධ” හෝ “නන් වැදෑරුම්” (kinds) යන වචන අපගේ නූතන සංකල්පය, නිර්වචනය වන "ජීවී විශේෂ" (Species) යන්න සමඟ සමාන කළ නොහැක. ලෙවී කථාව පොතේ පහත දැක්වෙන ඡේදයෙන් මෙය නිරීක්ෂණය කළ හැකිය:

තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් නොකෑ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා; සාමාන්‍ය උකුස්සා, නා නා විධ කුරුළුගොයි; නා නා විධ කපුටුවෝ සියල්ල; පැස්බරා, රෑ උකුස්සා, මූදු ලිහිණියා, නා නා විධ වෙනත් උකුස්සෝ; බස්සා, දියකාවා, බකමූණා; උලමා, කරවැල්කොකා, ගිජු ලිහිණියා; මානකොකා, නා නා විධ වෙනත් කොක්කු, හුපුවා සහ වවුලා වෙත්. (ලෙවී ව්‍යාවස්ථාව 11:13 – 19)

මෙම ඡේදයෙන් අපට පෙනී යන්නේ බයිබලය ලියැවුනු කාල වකවානුවේදී සිටි මිනිසුන් විවිධ වර්ගවල සතුන් හඳුනාගෙන ඇති බවයි. එමනිසා, “නා නා විධ” යන බයිබලයේ වචනය අපගේ නූතන යෙදුම වන “විශේෂ” නම් වචනයට පමණක් සීමා නොවේ. නා නා විධ මාළු, පැලෑටි, ගවයින් මෙන්ම ස්ත්‍රීන් සහ පුරුෂයින් රාශියක් ඇතැයි පවසන විට එය අප තේරුම් ගන්නේ ජීව විද්‍යාත්මක අර්ථයෙන්ම පමණද? “Species” යනු ජීව විද්‍යාත්මක වචනයකි (narrow meaning) එනමුත් “Kind” යන වචනයේ අරුත ඊට එහා යන්නකි (broad meaning).

කරුණාකර පහත වෙබ් පිටුවට යොමුවී මේ පිළිබඳව වැඩිදුරටත් කියවන්න:

What Are “Kinds” in Genesis?
Often, people are confused into thinking that a “species” is a “kind.” But this isn’t necessarily so.

ජෝන් ක්ලෝට්ස් තවදුරටත් අදහස් දක්වන්නේ:

අපගේ පුවත්පත්වල භාවිතාකරන එදිනෙදා භාෂාව වැනි භාෂාවක් තමයි එකල බයිබලය ලියැවීමේදී භාවිතා කළ භාෂාව. එනම් බයිබලය ලියැවීමට නූතන විද්‍යාත්මක භාෂාවක් භාවිතාකළේ නැත. ජනවහරේ භාෂාව වෙනස් නොවේ; එනමුත් තාක්ෂණික විද්‍යාත්මක භාෂාව සොයාගැනීම් සමඟ වෙනස් වේ. . . . අපට නව තක්කාලි ප්‍රභේද තිබිය හැකි නමුත් ඒවා තවමත් එම ප්‍රභේද තක්කාලි නම් එකම ජීවී විශේෂයට අයත්‍ වේ. එකම ජීවී විශේෂ තුළ වෙනස්කම් තිබිය හැකි නමුත් තක්කාලි කොමඩු බවට පරිනාමය වූ බව තවමත් උපකල්පනයකි. (එය දෙවියන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවට විකල්පයක් ලෙස හුවාදැක්වීම දෘෂ්ටිවාදී වේ.) සුනඛ ජීවී විශේෂයේද වෙනස්කම් සිදුවිය හැකි නමුත් සිංහයන් හෝ වලසුන් බවට සුනකයින් පරිණාමය වූ බවට නිශ්චිතව ඔප්පු වූ සාක්ෂි තවම නැත. (John Klotz, Studies in Creation, St. Louis: Concordia Publishing House, 1985, p. 76)

එබැවින්, ඩාවින් සොයාගත් දෙය, බයිබලය ජීවී ප්‍රභේද ගැන පවසන දෙයට පටහැනි නොවේ. බයිබලයෙහි “ජීව විශේෂ වල සුවිශේෂීභාවය” උගන්වන්නේ සෑම ජීවී විශේෂයකටම ප්‍රජනනය කළ හැක්කේ යම් නිශ්චිත සීමාවන් තුළ පමණික් වන බවයි. කෙසේ වෙතත්, එකම ජීවී විශේෂයක විවිධ ප්‍රභේද තිබීම බයිබලීය ඉගැන්වීම් වලට අනුකූල වේ. අද, කිට්ටු වෙනස් ජීව විශේෂ අතර අන්තර් අභිජනන තුලින් නව විශේෂයන් ඇති කලත් එම නව ජීව විශේෂ වඳය. නිදසුනක් වශයෙන්, බූරුවෙකු සහ අශ්වයෙකු යන අන්තර් විශේෂ අභිජනනය තුලින් කොටළුවෙකු බිහි කරයි. නමුත් කොටලුවා වද සතෙකි. කොටියෙකු සමඟ සිංහයෙක් අන්තර් අභිජනනය තුලින් 'ලයිගර්' නම් විශේෂයක් ඇති කරයි එහෙත් ඌ ද වඳය. චාල්ස් ඩාවින්ද මෙම ගැටලුව දුටු අතර ඔහු මෙසේ ලිවීය.

"වෙනස් ජීව විශේෂ අතර අභිජනනය තුලින්, වඳභාවයට පත් ජනිතයන් බිහිවන විට එකම ජීව විශේෂයේ විවිධ ප්‍රභේද අතර අන්තර් අභිජනනය තුලින් ප්‍රජනන හැකියාව ඇති ජනිතයන් බිහිවීම විස්තර කල හැක්කේ කෙසේද?” (ඩාවින්, “සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය”, (1866) පරිඡේද 6, පිටුව 200)

පරිණාමයේ ආකෘතිය යමෙකු පිළිගන්නේ නම් අදටත් මෙම ප්‍රශ්නයට පිළිතුරක් නොමැත.' ජීවීන් වෙනස් වීම හෝ ජීවීන් පරිසරයට අනුරූපව වෙනස් වීම බයිබලයට පටහැනි නොවේ. බොහෝ විට මැවුම්වේදී ස්ථාවරය කාටූන් ශිල්පීන් රූපගත කරනුයේ මැවීම, ජීවීන් පරිසරයට අනුව වෙනස් වීම ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරය බව තරයේ ප්‍රකාශ කිරීම් සඳහායි. මෙය සත්‍ය නොවේ. විද්‍යාඥ ගැරී පාකර් මෙසේ ලියයි.

මම පරිණාමය විශ්වාස කරනවාදැයි යමෙකු මගෙන් ඇසූ විට, බොහෝ විට මා පවසන්නේ පිළිතුර සැබවින්ම රඳා පවතින්නේ පරිණාමය මගින් පුද්ගලයා අදහස් කරන දේ මතය. එක් අර්ථයකින් පරිණාමය යනු වෙනස් වීමයි. මම වෙනසක් විශ්වාස කරනවාද? ඔව් ඇත්තෙන්ම. ඇත්ත වශයෙන්ම, ජීවීන් වෙනස් වීම යනු පරිණාමවාදීන් මෙන්ම දේව මැවීම පිළිගන්නවුන් ද පිලිගන්නා සත්‍යයක්. නමුත් ප්‍රශ්නය නම්, අප පිලිගන්නේ කුමන ආකාරයේ වෙනසක් ද යන්නයි: ජීව විශේෂයක් තුළ පමණක් වෙනස් වීම (ප්‍රභේද ඇති වීම) ද නැත්නම් එක් ජීව විශේෂයකින් සිට තවත් ජීව විශේෂයකට වෙනස් වීම ද? (Gary Parker, What Is Creation Science?, El Cajon, California, Master Books: 1982, p. 82).

සාරාංශය

ශාක හා සතුන් අතර වෙනස් වීමට හෝ ප්‍රභේද ඇති වීම (Micro Evolution) බයිබලයට පටහැනි නොවේ. එනමුත් එක් ජීවි විශේෂයක් නව ජීව විශේෂයක් බවට පත් වීම (Macro Evolution) පිළිබඳව මැවුම්වේදීන් සැක පල කරති. මන්ද ඊට තවම විද්‍යාත්මක සාක්ෂි නොමැති බැවිනි. මෙවැන්නක් පිළිබඳව බයිබලයේද පක්ෂව හෝ විපක්ෂව කිසිවක් සඳහන් වී නොමැත. සාර්ව පරිණාමය පිළිබඳ න්‍යාය සනාථ කිරීම සඳහා ක්ෂුද්‍ර පරිණාමය (ප්‍රභේද ඇති වීම) සාක්ෂි ලෙස භාවිතා කිරීමේ ක්‍රියා පටිපාටිය මැවුම්වේදය ප්‍රතික්ෂේප කරයි. අවාසනාවකට මෙන්, බොහෝ අය විශ්වාස කරන්නේ ක්ෂුද්‍ර පරිණාමය සඳහා සාක්ෂි සාර්ව පරිණාමය සනාථ කරන බවයි. මෙය කිසිසේත් එසේ නොවේ. තවද, සිදුවිය හැකි වෙනස්වීම් ප්‍රමාණය සීමා සහිතයි. බළලුන්, සමඟ බල්ලන් හෝ වානරයන් සමග මිනිසුන් ස්වභාවිකව ලිංගික සංසර්ගයේ නොයෙදේ. එසේ වීම අස්වාභාවික චර්යාවකි. මෙම සීමාව ලෝකය තුල හරියටම සොයාගත හැකිය. එමනිසා, ශාක හා සතුන් වර්ග වෙනස් විය හැකි තරම සීමිත බව විද්‍යාත්මකය තවද එය බයිබලයටද පටහැනි නොවේ.

[දොන් ස්ටුවර්ට්]

ආගම් පිලිබඳ දර්ශනය තුල, මැවීම යනු (Creation ex-nihilo) දෙවියන් වහන්සේ නොපවතින වස්තුවක් පැවැත්ම කරා ගෙන එන ක්‍රියාව (ontological) වන අතර සංරක්ෂණය (conservation) යනු දෙවියන් වහන්සේ එම වස්තුව කාලයත් සමඟ පවත්වා ගෙන යන ක්‍රියාවලියයි. (පරිණාමය අයිති වන්නේ මෙහි දෙවැන්න වූ සංරක්ෂණයටයි). දෙවියන් වහන්සේ ලෝකය මැවූ බවත් එය සංරක්‍ෂණය කරන බවත් ප්‍රධාන ඒක දේවවාදීන් (monotheists) නිසැකවම සහතික කරයි. කෙසේ වෙතත්, මැවීම සහ සංරක්ෂණය එකිනෙකට වෙනස් ක්‍රියා දෙකක් ද, නැත්නම් එකම ක්‍රියාවලියක කොටස් දෙකක්ද යන්න පැහැදිලි නැත.

පහත වෙබ් ලිපිය බලන්න:

Creation and Conservation (Stanford Encyclopedia of Philosophy)

සත්ත්ව සහ ශාක විශේෂ දීර්ඝ කාලයක් තුළ පරිණාමයෙන් නිර්මාණය වීමට එරෙහිව කිසිවක් බයිබලයේ මැවීමේ කථාව තුළ සඳහන් වී නොමැත. එහි සඳහන් “දවස” පැය 24 ක දවසක් ලෙස නොව; ඉපැරැණි බයිබල් අර්ථකථන සම්ප්‍රදායයන් තුල අවිනිශ්චිත කාල රාමුවක් නොහොත් කාල රූපකයක් (Allegorical) ලෙස සලකන ලදී. එහි සඳහන්ව ඇත්තේ මවන ලද සියල්ලම දෙවියන් වහන්සේගේ කැමැත්ත මත බිහිවූ බව මිස එවා බිහිවූ ක්‍රමය හෝ යාන්ත්‍රණය පිළිබඳව නොවේ. මිනිසාගේ ශරීරය පවා භූමියට සම්බන්ධ භෞතික පදාර්ථයන් තුළින් අවිනිශ්චිත කාලයක් තුළ (කාල සඳහනක් නොමැත) දවියන්වහන්සේ මැවූ බව සඳහන්වේ. පරිණාමය එම මැවීමේ ක්‍රියාවලියට වුවද අදාල කළ හැක. එනමුත් මනුෂ්‍යයාගේ ආත්මය (Spiritual Soul) පමණක් දෙවියන්වහන්සේගේ ඍජු මැදහත්කම තුළ භෞතික පදාර්ථවලින් හෝ පරිණාමයෙන් තොරව මැවූ බව කිතුනු ඉගැන්වීමේ ප්‍රධාන කරුණකි. (XII පියුස් පාප් තුමන්, “හුමානි ජෙනෙරිස්” විශ්ව චක්‍ර ලේඛනය, 1950, අංක 36) බයිබලයෙන් ඉස්මතුවන මූලික හරය වන්නේ; පරිණාමය සිදුවන්නේ දැනටමත් මැවූ පරිසරයක මිස රික්තයක් තුළ නොවේ. ප්‍රභේද ඇතිවන පරිණාමය දෙවියන් වහන්සේගේ මැවීමේ ක්‍රියාවට පටහැනිද නොවේ. මැවීම පරිණාමයට පූර්වගාමීව (posterior) සිදුවන්නකි, මන්ද පරිණාමය සිදුවිය හැක්කේ මැවූ දෙයකින් නොහොත් දැනටමත් පවතින දෙයකින් මිසක නොපවතින දෙයකට පැවැත්මක් ලබා දීමට පරිණාමයට නොහැක. දෙවියනහන්සේගේ මැවීම අදාල වන්නේ එම නොපවතින දෙයට පැවැත්ම දීමේ ක්‍රියාවටයි!

~ නිලන්ත එදිරිවික්‍රම පියතුමා