ජේසුස් යන ශ්‍රී නාමයේ මංගල්‍යය - ජනවාරි 03

ජේසුස් යන ශ්‍රී නාමයේ මංගල්‍යය - ජනවාරි 03

අප සමිඳාණන්ගේ පූජනීය නාමය සිහිපත් කර ජනවාරි 03 දා පැවැත්වෙන මංගල්‍යය නත්තල් සමයේ සැමරෙන විශේෂ මංගල්‍යය වලින් එකකි.

කිතු උපතේ පණිවිඩය රැගෙන ආ දූතයා මරිය තුමීටත් ජුසේ තුමාටත් ලබා දුන් පොදු පණිවිඩයක් වූයේ දරුවාට "ජේසුස්" යන නාමය තබන්න යන්නයි. (ලූක් 1,31 හා මතෙව් 1,21) ඒ අනුව ඔව්හු දරුවාට ජේසුස් යන නාමය තැබූ බව යළිත් සුබාරංචි කතුවරු දෙදෙනාම ලියති.

ජේසුස් යන නාමය හේබ්‍රෙව් "යෙශුවා" යන්නෙන් එන්නකි. එය පැරණි ගිවිසුමේ වීර චරිතයක් අපට සිහිගන්වන අතර එහි අරුත වන්නේ "දෙවියන් වහන්සේ සුරකින සේක" යන්නයි. ස්වාමීන් වහන්සේගේ මේ පෞද්ගලික නාමය අරබයා ශු. පාවුලු තුමා සඳහන් කරන්නේ " දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියළු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන් සේක.

එසේ කළේ ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පාතාල ලෝකයේහි ද සියල්ලන් 'ජේසුස්' යන නාමයට දණ නමන පිණිසත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත් ය. (පිලිප්පි 2,9-11)

දේව ප්‍රශංසා වලදී "ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී නාමය / ආශිර්වාදිත වේවා" යනුවෙන් ගායනා කෙරේ. උන්වහන්සේගේ ශ්‍රී නාමය අරබයා ගැයෙන ඉපැරැණි ගීතිකාවක් ද මෙහිදී සිහිපත් කළ හැක.

ජේසුනි ඔබ නාමය මා හදට සන්තෝෂය
මී රසට වඩා එය මාගේ දිවට මීරිය මා ජේසු පෙම්බර ස්තෝත්‍ර වේවා
මේ නමට වඩා උතුම් නාමයක් නැත ලෝ තල
අල්ප මම කෙසේ වණම් මේ නාමේ ගුණ නිර්මල මා ජේසු පෙම්බර ස්තෝත්‍ර වේවා
ජේසුනි ඔබ කල්පනා මා හද පුරයි ප්‍රීතිනා
භූ මඬලෙහි සව් දනා මේ නමට දණක් නමා මා ජේසු පෙම්බර ස්තෝත්‍ර වේවා

මේ මංගල්‍යය 15 වන සියවසේදී පමණ ඇරඹී පැවිදි නිකායන් ඇසුරේ වැඩි වර්ධනය වී විටින් විට වෙනස්වීමට ලක්වූ මංගල්‍යයක් වන අතර කතෝලික සභාවට අමතරව සමහර පිළිගත් කිතුනු සභාවන්වලද සිහිපත් කෙරෙන්නකි. එසේම කතෝලික සම්ප්‍රදාය තුළ මුළු ජනවාරි මාසයම මේ නමින් කැපකර ඇති බවක්ද කියැවේ.

සිංහල කිතුනුවන් අතර මේ නම පුද්ගල නාමයක් ලෙස යෙදීම ඉතා විරල වුවත් දමිළ කිතුනුවන් අතර ඒ ඇසුරින් බිහිවූ නම් සුලභව දැකිය හැක.

සටහන ~ මාධව ජයකොඩි