ක්‍රිස්තු රජාණන්ගේ මංගලෝත්සවය

දේව වන්දනා වර්ෂයක අවසන් ඉරුදිනට යෙදෙන මෙම මංගලෝත්සවය මඟින් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ රාජ්‍යත්වය සමරනු ලබයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මිනිසුන්ට සහ දේවදූතයන්ට පමණක් නොව සකල මැවිල්ලටම රජාණන් බවද උන්වහන්සේගේ රාජ්‍යත්වය සදාකාලික බවද මෙමඟින් තවදුරටත් අවධාරණය කෙරේ.
පළමු වන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වූ ප්‍රධාන රාජාණ්ඩු බිඳ වැටීමත්, ඒ සමඟම වර්ධනය වූ අදේවවාදයට සහ ලෞකිකවාදී අන්ත-ජාතිකවාදයටද (Secular ultra-nationalism) ප්‍රතිචාර වශයෙන් 11 වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් ක්‍රි.ව. 1925දී යෙදුණු ජුබිලි වසරේදී 'Quas Primas' යන විශ්ව චක්‍රලේඛනය මඟින් මෙය 'අප සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුස් රජාණන්ගේ මංගල්‍යය (Festum Domini Nostri Jesu Christi Regis)' ලෙස ස්ථාපිත කළ අතර 1926දී මුල්වරට සමරනු ලැබීය.
එසේම 1926 - 1969 දක්වා මෙය ඔක්තෝම්බර් මස අවසන් ඉරුදිනදී සමරනු ලැබූ අතර 1969දී VI(06) වන පාවුළු ශුද්ධෝත්තම පියතුමන් (Pope, St. Paul VI) විසින් සිය 'Mysterii Paschalis' නම් Motu proprio (ශුද්ධෝත්තම පියතුමෙකු වෙනත් බාහිර පාර්ශ්වයක නිල ආයාචනයකින් තොරව තමන් විසින්ම නිකුත් කරනු ලබන නිල ප්‍රකාශනයකි) අපෝස්තලික ලේඛනය මඟින් මෙය 'විශ්වීය රජාණන් වන ජේසුස් ක්‍රිස්තුස් අප සමිඳාණන් වහන්සේගේ මංගලෝත්සවය (Sollemnitas Domini Nostri Iesu Christi Universorum Regis)' ලෙස උසස් කර දේව වන්දනා වර්ෂයේ අවසන් ඉරුදිනදී සැමරීමට නියම කරනු ලැබීය.