එකට යදින පවුල එකට සිටියි

එකට යදින පවුල එකට සිටියි

''මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි" වදාළ සේක.
(උත්පත්ති  2:18)

දෙවියන්වහන්සේ විශ්වය මවා උන්වහන්සේගේ උතුම්ම නිර්මාණය වන මනුශ්‍යයා වූ ආදම්ව ඒදන් උයනේ වාසය කිරීමට ඉඩ සැලසූ සේක. ඒදන් උයනේ දෙවියන්වහන්සේ මනුශ්‍යයාට අවශ්‍ය සියලු දේ සපයා දුන් නමුත් එහි ජීවත් වූ ආදම්ගෙ විශාල අඩුවක් උන්වහන්සේ දුටු සේක. ඒ අඩුව නම් දෙවියන්වහන්සේ තුල තිබූ දෙයක් මනුශ්‍යයා තුල නොතිබීමයි.

එනම් ශුද්ධවු ත්‍රිත්වය තුල පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ ඒකත්වයක් තුලින් එකිනෙකා උදෙසා වැඩ වාසය කරමින් සිටියි. සරලව පැවසුවහොත් ශුද්ධවූ ත්‍රිත්වය තුල උන්වහන්සේලා පවුලක් මෙන් එකට වැඩවාසය කරති. මෙම එකිනෙකා තුල සිටීමේ ක්‍රියාවලිය ආදම් තුල දක්නට නොලැබුනු අතර, එම අඩුව පිරවීමට කිසිම සතෙකුට, ගසකට නොහැකිවන නිසා , එම අඩුව සම්පූර්ණ කිරීම පිණිස දෙවියන්වහන්සේ මනුශ්‍යයා තුලින්ම ඔහුට අවශ්‍ය සහකාරියවූ ස්ත්‍රීයව මවා දුන්නේය.

මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
(උත්පත්ති  2:24)

ශුද්ධවූ යන වචනය හිබෲ  භාශාවෙන් Kadosh (කාඩොශ්) වන අතර එහි අර්ථය වන්නේ වෙන් කරන ලද යන්නයි, එනම් උදාහරණයක් ලෙස ශු.අල්තාරය දිව්‍ය පූජාව හා දිව්‍ය අභිරහස් සිදු කිරීම සදහා දෙවියන්වහන්සේ වෙනුවෙන්ම වෙන්කර ඇති අතර, එම අල්තාරය සමිති සමාගම් පැවැත්වීමටවත්, ආහාර වැලදීමටවත් යොදා ගන්නේ නැත. පවුල යන සංකල්පය අවමයෙන් පුරුශයා හා භාර්‍යාවගෙන් සමන්විත වන අතර, ඔවුන් දෙදෙනාගේ පූර්ණත්වය තුලින් දරුවන් බිහි වෙයි.එය ආරම්භයේ සිටම දෙවියන්වහන්සේගෙන් පවතින දෙයකි.එබැවින් පවුල "ශුද්ධවූ පවුල" බවට පරිවර්තනය වනුයේ ජේසු වෙනුවෙන් කැපවී උන්වහන්සේ වෙනුවෙන් පමණක් සේවය කරන විටදීය.

"Marriage is done in heaven" යන සුප්‍රකට කියමන ඔබ අසා ඇත.සැබවින්ම විවාහය යනු කැඳවීමක්ය, එය දෙවියන්වහන්සේගේ සැලැස්ම තුල දෙවියන්වහන්සේ අබිමුඛයේ සිදුවන දෙයකි. ඔබේ බිරිද, ඔබේ ස්වාමිපුරුශයා දෙවියන්වහන්සේ විසින් තෝරාගෙන ඔබ සදහම වෙන්කර ඇත.එසේ නිර්මාණය වන පවුල සදහා අධිකාරි බලය දෙවියන්වහන්සේටම පමණක් හිමිබව උන්වහන්සේ අවධාරණය කරයි.

ලෝකයේ ප්‍රථම ශුද්ධවු පවුල වන නාසරෙත්හි ජේසුතුමාගේ පවුල දෙස නෙත් යොමු කල විට මරියතුමියට තිබූ සැලසුම බිදලමින්, ජුසේතුමන්ට තිබූ සැලසුම බිදලමින් ඒ අතරට ජේසුස් වහන්සේගේ පැමිණීම දෙවියන්වහන්සේ විසින් වෙන්කර තිබූ නිසා,දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදි ජේසුතුමන් මූලික කරගෙන එම පවුල ශුද්ධවූ පවුල බවට පත්වුණි.

ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න.(එපීස 5 : 21)

වර්තමානයේදී පවුල් හවුල් වී යන ස්වරූපයක් පෙනේ, ඊට හේතුවන එක් කාරණාවක් ලෙස එකිනෙකාට යටත් නොවීම දක්වන්නට පුළුවනි. වර්තමානයේ අපට පෙනෙනුයේ සැමියා යටත් පහත් වෙනවා වෙනුවට යටත් කරගන්නා තත්වයන්ද, භාර්‍යාව යටත් පහත් වෙනවා වෙනුවට යටත් කරගන්නා තත්වයන්ය.හරියට යුක්‍රේන, රුසියා යුද්ධය වගේ. දෙන්නට දෙන්නා වචන විසිකරගනිමින්, යටහත් වෙන්නෙ නැතුව, නිහඩ වෙන්නෙ නැතුව ආඩම්බරකමින් ජීවත් වෙන තත්වයක්. මෙය දික්කසාදය දක්වා විහිදා යෑම පුදුමයට කරුණක් නොවේ.
ක්‍රිස්තුස් වහන්සේ ඔබට ආරාධනා කරන්නේ ඔබ උන්වහන්සේට යටත් වෙන අන්දමින් ඔබේ ස්වාමිපුරුශයාට හා භාර්‍යාවට යටත් වන්නටත්, ඔබ ඔබට ප්‍රේම කරන අයුරින් ඔබේ ස්වාමිපුරුශයාට හා භාර්‍යාවට ප්‍රේම කල යුතු බවත්‍ ය.

"අපගේ" ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු. (උත්පත්ති කථාව 1 : 26)

අද සමාජයේ පවුල් දෙස බැලුවහොත් දක්නට නොමැති ප්‍රධාන කාරණාව වන්නේ ඒකත්වයි. මොකක්ද මේ ඒකත්වය කියන්නේ? ඉහත බයිබල් පදය දෙස බැලීමේදී දෙවියන්වහන්සේ මනුශ්‍යයා මවනු ලබන්නේ "අපගේ" ස්වරූපය අනුවය. එහි අපගේ යනුවෙන් ත්‍රිත්වයේ ඒකත්වය නිරූපණය කරයි. නැතහොත් පියාණන්වහන්සේ මනුශ්‍යයා මැවුවා කියාවත්, පුත්‍රයාණන්වහන්සේ මනුශ්‍යයා මැවුවා කියාවත්, ශුධාත්මයාණන්වහන්සේ මනුශ්‍යයා මැවුවා කියාවත් නැත. එබැවින් "පවුල" පිහිටුවීම ත්‍රිත්වයාණන්වහන්සේලාගේ ඒකත්වය තුලින් සිදු කරන ලද්දකි.

ඒකත්වය කිතුණු පවුල් ජීවිතයට මෙතරම් අවශ්‍ය වන්නේ මන්ද? තාත්තා දුක්මහන්සියෙන් හම්බකරලා අම්මට දෙන සල්ලි ටික අම්මා හරිවිදියට පිරිමහලා නිවසේ වැඩකටයුතු සදහා නිසිලෙස යොදාගන්න ඕනේ. නැතුව තාත්තා දෙන සල්ලි වලින් අම්මා මේකප් දාන එකවත්, පාටි දාන එකවත් නෙමේ කරන්න ඕනෙ. ඒ වගේම දරුවන්ද අම්මා දෙන දේ සතුටු සිතින් භාරගෙන අඩුවක් නොකියා, ස්තූතිවන්ත වෙමින් ක්‍රියා කරන්න අවශ්‍යයි.

යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.(ශු. මතෙව් 18 : 20)

එකට යදින පවුල එකට සිටියි යන සංකල්පය පැමිණෙන්නේ ඒකත්වය තුලින්ය. අම්මා,තාත්තා,ලමයි එකට ඉදගෙන යාඥා කරද්දි එතන ජේසු වැඩසිටිනවා කියලා උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. එනම් ඒකත්වය වනාහි පවුලක යහපැවැත්මේ මුදුන් මුලයි, එය බිදී ගියහොත් පවුලේ සමාදානය, සමගිය, ශාන්තභාවය බිදී යනු ඇත. මෙසේ දෙවියන් වහන්සේගේ අධිකාරිය යටතේ දිවි ගෙවන යහපත් දෙමව්පියන් සහ යහපත් දූදරුවන්ගෙන් යුතු පවුලක් එකට එක්ව යාච්ඤා කරනවිට එම පවුල ශුද්ධවූ පවුලක් වනු ඇත. එම නිවසට දෙවියන්වහන්සේ වැඩම කර ඔවුන්ට ආශිර්වාද කරනු ඇත.

"පේදුරු ඔබ සියල්ලන්ට වඩා මට ප්‍රේමකරනවානම් මාගේ බැටලුවන් පෝෂණය කරන්න" යනුවෙන් ජේසුතුමා පේදුරුට දුන් තුන්ප්‍රකාර භාරය ගැන මෙනෙහි කලවිට, පේදුරු යනු ධීවරයෙකි නමුත් ජේසුස්වහන්සේ උන්වහන්සේගේ බැටලුවන් පෝශනය කිරීමේ වගකීම ලබා දෙන්නේ කිසිදු සුදුසු කමක් මත නොවේ, උන්වහන්සේට සියල්ලටම වැඩියෙන් ප්‍රේම කරනවාද යන කාරණාව මතයි.
ඔබ බිරිදට වඩා ජේසුට ආදරේ කරනවනම්, ජේසුගේ බැටලු පැටියෙක් වෙන ඔයාගේ බිරිදව ඔයාට භාරදෙනවා ආදරය කරන්න,පෝශණය කරන්න.
ඔබ ස්වාමියාට වඩා ජේසුට ආදරේ කරනවනම්, ජේසුගේ බැටලු පැටියෙක් වෙන ඔයාගේ ස්වාමියාව ඔයාට භාර දෙනවා ආදරය කරන්න, පෝෂණය කරන්න.

විවාහය සහ පවුල කියන දෙය නිවැරැදිව අවබෝධ කරගත යුතුය, දෙවියන්වහන්සේ ඒ සදහා ඔබව තෝරාගනු ලබන්නෙ උන්වහන්සේට අරමුණක් තිබෙන හෙයිනි. හරියට උපතින් බෞද්ධයෙකු වූ මම අද වනවිට දේව දරුකම ලබා, මෙම ලිපිය රචනා කිරීම උන්වහන්සේගේ අරමුණ වූවාසේ, උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන ඒ අරමුණ ජේසු තුල යැපෙමින් උන්වහන්සේ සමග දැඩි සම්බන්දතාවයක් ඔස්සේ සොයාගත යුතුය. හරියට ජේසුගේ පවුල වගේ, දේව අම්මා වචනයේ දාසිය වෙමින් දෙවිදුන් සමග දැඩි සම්බන්දතාවයක් ඔස්සේ උන්වහන්සේගේ අරමුණ කරා ලගා උනා මෙන්, ජුසේ මුනිදුන්ද දැඩි සම්බන්දතාවයක් ඔස්සේ දෙවිදුන්ගේ අරමුණ ඉටු කලා මෙන්, ජීවනය වන ජේසුස් වහන්සේද පියාණන් වහන්සේ සමග දැඩි සම්බන්දතාවයකින් ජීවිතයේ සෑම අවස්ථාවලදීම දේව කැමත්ත ඉටු කලා මෙන්, ඔබත් ඔබගේ පවුල් ජීවිතය තුල ඉවසීමෙන්ද, යාඥාවෙන්ද, වගකීම් ඉටු කිරීමෙන්ද, ඔබගේ පවුල තුල ජේසුට අසුනක් ලබා දී ශුද්ධවූ පවුලක කොටස් කරුවන් විය යුතුය.

අවසන්කොට ශුද්ධවූ පවුල නාසරෙත් සිට බෙත්ලෙහෙමටද ඉන්පසු ඊජිප්තුවටද  පසුව නැවත නාසරෙත් දක්වා ගමන් කෙරුවේය. දෙවියන්වහන්සේ ඔබේ පවුලද කූඩාරම් අස්සෙ තබයි. මල් යහන් වල නොව ප්‍රශ්න, අභියෝග, පරීක්ෂා හමුවේ ඔබව ගෙනයනු ලබයි. පාපයට නොවැටී පවුලක් ලෙස ජේසුව අයිතිකරගනිමින් ලෝක ආරම්භයෙදි උන්වහන්සේ ලබාදුන් ශුද්ධත්වය අත්කරගැනීමට අදිටන් කරගෙන, සෑමදිනම පවුලක් ලෙස එකට යදිමින්, සියලු දේ දෙවියන්වහන්සේට භාර කරමින්, සියල්ලන්ට වඩා උන්වහන්සේට ආදරය කරමින් ශුද්ධවූ පවුලක් ලෙස දෙවියන්වහන්සේ වෙනුවෙන් පමණක් වෙන්වන්නට අදිශ්ඨාන කරගනිමු.

✍️ ගඟුලි භාග්‍යා