කතෝලික දිව්‍ය පූජාව තුළ ජේසුස් වහන්සේව නැවත නැවතත් පූජා කරනවාද?

කතෝලික දිව්‍ය පූජාව තුළ ජේසුස් වහන්සේව නැවත නැවතත් පූජා කරනවාද?
" එකම සම්පූර්ණ යාගය වන ඔවුන්වහන්සේ තමන්ගේ ම ලෙසින් කුරුසිය මත පියාණන් වහන්සේගේ ආදරයන් අපගේ විමුක්තියක් සඳහා සඳහට ම එක ම වරක් පමණක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. " - ක.ස.ධ 2100

ඉහත කතෝලික සභා ධර්මෝපදේශයේ 2100 වන පරිච්ඡේදය අනුව පෙනී යන්නේ කතෝලික සභා ඉගැන්වීම අනුව ජේසුස් වහන්සේගේ කුරුස යාගය එක්වරක්ම සිදුවූ සර්ව සම්පූර්ණ යාගයක් බවයි.

එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
හෙබ්‍රෙව් 10:12 NRSV

ශුද්ධ බයිබලයේද සදහන් කතෝලික සභා ධර්මෝපදේශයේ විස්තර කර ඇති කරුණයි.
එමෙන්ම කතෝලික සභා ධර්මෝපදේශයේ 1367 වන පරිච්ඡේදය තුළ මෙලෙස සදහන් වේ.

"1367 ක්‍රිස්තුන් වහන්සේගේ යාගය සහ දිව්‍ය සත්ප්‍රසාදයේ යාගය එක ම යාගයකි. "පඬුර (යාගය) එකම ය.එය ම දැන් පූජකවරුන්ගේ මෙහෙවරින් ඔප්පු කරනු ලැබේ. ඔවුන් වහන්සේ එවිට, තමන් වහන්සේ ව ම කුරුසිය මත ඔප්පු කරගත් සේක. ඔප්පු කිරීමේ විධිය පමණක් වෙනස් ය.'' '' දිව්‍ය පූජාවේ ඔප්පු කරනු ලබන මෙම දිව්‍ය යාගයේ දී, වරක් කුරුසයේ පූජාසනය මත රුධිරමය විලාශයෙන් තමන්වම ඔප්පු කරගත් ක්‍රිස්තුන් වහන්සේ අඩංගු වන අතර ඔවුන් වහන්සේ රුධිරමය නොවන විලාශයෙන් ඔප්පු කෙරෙනු ඇත." එය සැබැවින් ම වන්දි ගෙවන සුලු ය."  - ක.ස.ධ. 1367

👉ක්‍රිස්තුන් වහන්සේ විසින් තමන් වහන්සේ පාවා දුන් රාත්‍රියේදී පූප සහ මිදියුස කුසලාන ගෙන එය තමන් වහන්සේගේම "ශ්‍රී ශරීරයටත් රුධීරයටත්" හැර වු සේක.එහිදී උන්වහන්සේ විසින් සිහිපත් කරනු ලැබුවේ පසුදින සමස්ථ ලෝක වාසී ජනතාව වෙනුවෙන් තමන් විසින්ම සිදු කිරීමට නියමිත වු "කල්වාරි යාගයයි." එම යාගය සදහටම තමන් වහන්සේ "සිහි කිරීම" සදහා පවත් වන ලෙසටද උන් වහන්සේ විසින්ම නියෝග කරන ලදී

📕"මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න."( ලුක් 22:19 )

👉මෙහි "සිහිකිරීම" සදහා යෙදෙන ග්‍රීක අර්ථය වන්නේ "අනම්නේනිස්" යන්නයි.එහි නිවැරදි අර්ථය වන්නේ "පරිස්මරණයයි."එනම් අතීත සිදුවීමක් නැවතත් සිදු කරමින් එය වර්තමානයට ගෙන ඒමයි.සැබවින්ම උන්වහන්සේ විසින් යාග වුයේ එක් වරක් පමණි.එක් වරක් පමණක් යාග වෙමින් උන්වහන්සේ මුළු විශ්වයටම ගැලවීම ලගාකර දුන්සේක.එබැවින් එය ජුදා යාග පිලිවෙත් සියල්ලම සම්පූර්ණත්වයට පත් කල සේක.එය සර්ව සම්පුර්ණ යාගයකි.මේ නිසා සත්ව පුජා හෝ වෙනත් යාග පුජාවන් තව දුරටත් අවශ්‍ය වන්නේ නැත.උන්වහන්සේ එම යාගය තුළ "පාස්කු බැටළුවා මෙන්ම උත්තම පුජකයාද" වු සේක.

📕12 උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක.
( හේබ්‍රව් 9:12 )

👉නමුත් "පරිස්මරණයේ" අත් දැකීමක් තුළ උන්වහන්සේ විසින්ම සිදු කිරීමට නියම කල "දිව්‍ය යාගය"සිදු කරන අවස්ථාවේදී පුප සහ මිදියුස උන්වහන්සේගේම මාංශයට සහ රුධීරයට හැරෙනු ලබයි.මෙහිදී නැවත දෘශය්‍යමාන ලේ වැගිරීමක් සිදු නොවන අතර "ශුද්ධාත්මනුභාවය" තුළ ඒවා ශ්‍රී ශරීරයට සහ රුධීරයට පරිවර්තනය වේ.

සැබවින්ම දිව්‍ය පුජා යාගය තුළදී අප විසින් හවුල් කාරත්වය දරන්නේ ස්වර්ගයෙහි දේව නමස්කාරයටයි.දේව දුතයන් ,දේව මාතාවන්  සාන්තුවරයන් සමගින් අපිදු සමිදාණන් වහන්සේ විසින් සාදන ශුද්ධ මණ්ඩපයේ උත්තම පුජකයාණන් වු ක්‍රිස්තුන් වහන්සේ හා සමගින් දෙවි පියාණන්ට පිදෙන එම උතුම්ම වු යාගයට සහභාගී වන්නෙමු.

📕1 අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන,
📕2 මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක.
📕3 සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතු ය.
📕4 උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි.
( හේබ්‍රව් 8:1-4 )

👉මිහිපිට සිටින සේක් නම් උන්වහන්සේ හට මෙම යාගය සිදුකල නොහැකිය.මන්දයත් වය්‍යවස්‍ථාව අනුව පුද පුජාවන් ඔප්පු කරන පුජකයන් ලෙවී ගෝත්‍රයට අයත් වුවෝ වෙති.

👉බොහෝ දෙනෙකු හට අවබෝධ නොවී තිබෙන කාරණාවක් අප මෙහිදී සදහන් කරමු.සමස්ථ එලිදරව්ව ග්‍රන්ථය පුරාම "ස්වර්ගයෙහි දේව නමස්කාරය" සිදුවන ආකාරය පිළිබදව විස්තරාත්මකව සදහන් වේ.
දිව්‍ය පුජාව අවස්ථාවේදී "සුවිශුද්ධය" ගායානා කරමින් මෙම අඛණ්ඩ වු "ප්‍රශංසාවේ යාගය"  අපිදු හවුල්කාරත්වය දරන්නෙමු.

📕8 ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, ''වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, "සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය''යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.
( එලිදරව්ව 4:8 )

👉එළිදරව්ව ග්‍රන්ථය තුළ අන්ත ක්‍රිස්තුස්, දෙවන පැමිණීම, අවුරුදු දහසේ කාල වකවානුව පිළිබදව විවිධ දුර්මතයන් ඉදිරිපත් කරන මුලධර්මවාදීහු එම ග්‍රන්ථය තුළම පරිච්ඡේදයන් 21 ක් තුළ 28 වතාවක් දෙවියන් වහන්සේගේ "බැටළු පෝතකයාණන්" යන වචනය අන්තර්ගත වන්නේ කුමක් නිසාද යන්න පිළිබදව විමසා නොබැලීම අතීශයින් පුදුම සහගතය."බැටළු පෝතකයාණන්" තුළින් පිළිඹිබු වන්නේ ස්වර්ගයෙහි අඛණ්ඩව පිදෙන "යාගයයි."

📕8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.
( එලිදරව්ව 5:8 )

👉මෙහි සදහන් වන රන් පාත්‍රද, සුවදදුම්ද, ඉහත සදහන් කල සුවිශුද්ධය තෙවරක් ගායානා කිරීමද,පුජාසනයද ( එළිදරව්ව 8:3 ),ආමේන් (7:12 ), ආලේලුයියා ( 19:1 ) ,කුලදෙටුවන් විසින් දේව ජනතාවතද "බැටළු පෝතකයාණන්ගේ මංගල භෝජනයද", ( 19:9 ) දිව්‍ය පුජාව තුළද නිරූපනය වන සංකේතයන්ය.මේ නිසා ස්වර්ගීක "බැටළු පෝතකයාණන්ගේ යාගය" සහ අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව විසින් සිදු කරනු ලබන "දිව්‍ය යාගයද" සැබැවින්ම එකම යාගයකි.එහිදී දෘශය්‍යමාන ලේ වැගිරීමකින් තොරව "බැටළුපෝතකයාණන්" අප වෙනුවෙන් "ශුද්ධාත්මානුභාවය"  තුළින් පුප සහ මිදියුස උන්වහන්සේගේම  ශ්‍රී ශරිරය සහ රුධීරය බවට හැරෙමින්  නිරන්තරයෙන්ම යාග වෙයි.

📕16 අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?
( 1 කොරින්ති 10:16 )

👉ලොව සෑම මොහොතකම කුමන හෝ ස්ථානයක මෙම දිව්‍ය පුජා යාගය සිදු වේ.ඒ තුළින් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවමාන භාවය උන්වහන්සේගේ සභාව විසින් ප්‍රකාශ කරනු ලබයි."කල්වාරි යාගය" මගින් ක්‍රිස්තුන් වහන්සේ එක් වරක් පමණක් යාග වෙමින් අප වෙත දිනා දුන් "ගැලවීමේ ඵල"දිව්‍ය යාගය තුළින් ලොව පුරාම බෙදා දෙනු ලබයි. දිව්‍ය පුජාව දේව වන්දනාවේ කේන්ද්‍රස්ථානය වන්නේ මේ හේතුව නිසාවෙනි.පුරාණ ගිවිසුම තුළ යාග පුජාවන් දේව වන්දනාවේ කේන්ද්‍රස්ථානය වුවා සේම "බැටළු පෝතකයාණන්ගේ යාගයද" නව ගිවිසුම තුළ "දේව වන්දනාවේ කේන්ද්‍රස්ථානය" වන්නේය.

📕"අජබාලකයාණන්ගේ භෝජනයට කැදවීම ලද්දෝ භාග්‍යවන්තයෝය."
( එලිදරව්ව 19:9 )

සතුට යනු කතෝලිකයකු වීමයි!
✍️සාහිත පෙරේරා
සත්‍ය ඔබව නිදහස් කරයි.Truth will Set You Free.