සාන්තුවරුන්ගේ සමෝස ධර්මලාභය ගැන ඔබ දන්නවාද ?

සාන්තුවරුන්ගේ සමෝස ධර්මලාභය ගැන ඔබ දන්නවාද ?
Photo by Nils / Unsplash

නොවැම්බර් පළමුවැනිදා උදාවීමත් සමඟම කිතුනු අපට මතක් වනුයේ සියලු සාන්තුවරුන්ගේ මංගල්‍යයයි. එය ශුද්ධවූ සභාව ඉතා උත්සවශ්‍රීයෙන් යුතුව සමරනු ලබනුයේ පුරාණ ගිවිසුමේ ආබෙල් තුමගේ පටන් දෙවිදුන්ට ප්‍රසන්නව ජීවත් වූ සියලු සුදුවරුන් විශේෂාකාරයෙන් ගෞරවයෙන් යුතුව සමරණ දිනයක් වන නිසයි.

සැබැවින්ම ශුද්ධවන්තයෙක් යනු කවරෙක්ද?

ශුද්ධ වූ සභාවේ නිල ඉගැන්වීම් වලට අනුකූලව ශුද්ධවන්තයෙක් යනු මෙලොව ජීවිතය යහපත් ලෙසත් දේව නියමයන්ට අනුකූලත් ගත කර දැනුදු දෙවියන් වහන්සේගේ ඉදිරියේ අත්මීකව ජීවත්වන පුද්ගලයෙකි. අප මොවුන්ට ගෞරව කිරීමට මුල්ම හේතුව අප විශ්වාසයේ ජීවිතයට මුල් පුරුක් වීමට මොවුන් සමත් වූ නිසාය. මොවුන්ගේ විශ්වාසය තුළ අප සභාව අද පවතින තත්ත්වට පත්ව ඇත. එමෙන්ම අප ගෞරවය ලබන ශුද්ධවන්තයින් මෙන්ම නිළ නාමාවලියට එක් නොවූ ශුද්ධවන්තයන් ද සිටින බව අප මතක තබාගත යුතුය. ඒ අනුව ගත් කල ස්වර්ගයේ සිටින සියල්ලන් ශුද්ධවන්තයින් ලෙස සැලකීමට අපට පුළුවන. පුරාණ ගිවිසුමේ ආදි පිතෘවරුන්, දිවැසිවරුන් සහ ජන නායකයන්, ප්‍රාණපරිත්‍යාගවරුන් ද ඇතුළුව නව ගිවිසුමේ අපෝස්තුළුවරුන්ද, දෙවිඳුන්ට ප්‍රියමනාප ලෙස ජීවිත ගත කල, විශ්වාසයට සාක්ෂි දැරූ හා සමාජයේ ප්‍රගතිය උදෙසා වෙහෙසුණු සියලු ගිහි සහ පැවිදි උතුමන්ලා ශුද්ධවන්තයින්ට උදාහරණයක් ලෙස සැලකිය හැකිය.

එසේ වී නම් ශුද්ධ වූ සභාවේ පිළිගත් ශුද්ධවන්තයින් වන්නේ කෙසේද?

ශුද්ධවූ සභාව පිළිගත් ශුද්ධවන්තයෙක් වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා වසර ගණනාවක් පුරා කෙරෙන පරීක්ෂණ තුළින් ඔහුගේ ශුද්ධවන්ත භාවය පිළිබඳව සොයාබලයි. ඒ සඳහා පිළිගත හැකි විශිෂ්ට ප්‍රාතිහාර්යයන් කීපයක් ඉටු කිරීමට මෙම ශුද්ධවන්තයින් සමත් විය යුතු වෙනවා. මේ ක්‍රියාදාමයේදී ඒ පුද්ගලයාට අදියර 4 ක ගමන් කිරීමට සිදුවේ. පළමවෙන් ‘දේව සේවක’ ධුරයයි. දෙවනුව ‘වන්දනීය’ ධූරයයී. තෙවනුව ‘භාග්‍යවන්ත’ ධූරයත් අවසාන කොට ‘ශුද්ධවන්ත’ භාවය ලබා ගත හැකි වෙනවා. මේ ගමනේදී දේව සේවක ධූරය ලබාගැනීම සුදුවර ගමන් මගෙ අඩිතාලම වේ. ඔහුගේ ජීවිතයේ සියලු කරුණු සොයාබැලීම අරඹනුයේ මේ පියවරෙන් පසුවයි. වන්දනීය ධූරය සඳහා ඔහු ආදර්ශමත් කිතුනුවෙකු ලෙස ජීවත්වීම, ඔහු සමාජයට කළ සේවාවන්, සභාවට කළ සේවාවන්, විශ්වාසයට සාක්ෂි දැරූ ආකාරය පිළිබඳව සොයා බලයි. එලෙස ආදර්ශමත් ලෙස ජීවත් වූ ඔවුහු වන්දනීය ධූරයට එසේ වීමෙන් පසුව ඔහු විසින් ඉතා ප්‍රබල ආකාරයේ පිළිගත හැකි ප්‍රාතිහාර්යයන් ඇයදිය යුතු වෙනවා. එලෙස ප්‍රාතිහාර්යයන් ලැබීමෙන් පසුව එතුමාව භාග්‍යවන්ත භාවයට එසවීමත් ඒ තුළ උන් වහන්සේගේ මැදිහත් පිහිට තුළ තවදුරටත් ප්‍රාතිහාර්ය සිදු කිරීම තුළ උන් වහන්සේව ශුද්ධවන්ත භාවය සඳහා එසවීමත් සිදු කරනු ලබනවා. තවද දෙවි සමිඳාණන් වහන්සේ තුළ ඔවුන් ලැබූ වරප්‍රසාදයන්ට තුති පිදීම වන්දනීය භාවයේදී අරඹනවා. එලෙසම වන්දනීයභාවයේදී පටන් ඔවුන්ගේ මැදිහත් පිහිටා ඇදීම තුළ ඔවුන්ව ශුද්ධවන්ත භාවයට එසවීම සඳහා ගමන් කිරීමට වරම් ලැබෙන ලෙස අපි උන් උදෙසා යදිනු ලබනවා. මේ ආකාරයට ශුද්ධවන්ත බවේ මාර්ගය දිවෙනවා.

අපි ශුද්ධවන්තයින්ට වන්දනා කරනවාද?

නැත, අපි වන්දනා කරනුයේ එකම දෙවියන් වහන්සේට පමණයි. ශුද්ධවන්තයින්ට අප ගෞරවය පමණක් දක්වනු ලබයි. ශුද්ධ වූ සභාවේ ගෞරවකිරීම (Veneration) ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වෙනවා. ඉන් පළමුවැන්න, අප දෙවියන් වහන්සේට දක්වනු ලබන වන්දනාව (Latria), නමස්කාරය හඟවනු ලබනවා. දෙවැන්න වනුයේ අප දෙව්මවුන්ට දක්වනු ලබන උත්තරීතර ගෞරවයයි (Hyperdulia). මෙය වනාහී අනෙකුත් ශුද්ධවන්තයින්ට දක්වන ගෞරවයට වඩා උතුම් වේ. ඊට හේතුව වනුයේ කන්‍යා මරියාවන් දෙවියන් වහන්සේගේ මාතාව වීම සහ කුරුස ගමනේදී සමගැලවුම්කාරිණිය බවට පත් වීමයි. තෙවැන්න වනුයේ ශුද්ධවන්තයින්ට අප දක්වන ගෞරවයයි (Dulia). මෙලෙස අපි ශුද්ධවන්තයින්ට නුවාන පැවැත්වීම, මංගල්‍යයන්, පෙරහැර පැවැත්වීම දැකිය හැකියි.

එසේනම් සාන්තුවරුන්ගේ සමෝස ධර්මලාභය යනු කුමක්ද?

මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි පාඨක සියල්ලනගෙන්ම. අපේ රටේ එකම ශුද්ධවන්ත පුද්ගලයා ශු. ජුසේ වාස් පියතුමා පමණක් ද? එය ඔබට හිතන්නට යමක්…
අපේ රටේ පීඩන යුග වලදී මෙන්ම ගිය වසරේ මියගිය සොයුර සොයුරියන් ද ප්‍රාණපරිත්‍යාගීන් වී හමාරයි. එවිට ඔවුන්?, එමෙන්ම ඔබ හැමෝගෙම පල්ලියෙ සුසාන භූමියේ වැළලුනු කොපමණ දෙනෙක් අද ස්වර්ගයේ සිටිනවා ඇත්ද? ඔවුන් සභාවේ නිල ශුද්ධවන්තයින් ලෙස නම් නොවුනද ඔවුන්ද සාන්තුවරුන්‍ ය. එවිට සමෝස ධර්මලාභය යනු අපි මේ සියලුම දෙනා තුල තබන විශ්වාසය සහ ඔවුන්ගේ මැදිහත් පිහිට අයැදීමයි. සමහරක් විටෙක මෙය ඔබ අත්දැකීම් තුලින්ම අත්විඳ තිබෙන්නට පුළුවන්. ඔබේම පවුලේ කෙනෙක් මියගොස් තිබේ නම්, සමහර වේදනාත්මක අවස්ථා වලදී අප ඔවුන් සිහිකරමින් ඔවුන් සිටියානම් අපිට මේ මොහොතේ උදව්වෙනවනෙ කියා එම කාර්‍යය කිරීමට පටන් ගත් විට ඔබට එය සිතුවාටත් වඩා හොදින් කිරීමට හැකියාව ලැබුනා වැනි අත්දැකීම් ඇති. මෙය සාන්තුවරුන්ගේ සමෝස ධර්මලාභයට හොදම නිදසුනක්.

ඉතින් සාන්තුවරුන් ගැන කතා කරනවා නම් කතා කරන්නට තව ඕන තරම් දේවල් තිබෙනවා. මේ ලිපිය තුලින් ඔබේ දැනුමට යමක් එක්වූවා යැයි මම සිතමි. එනමුත් අපි මතක තබා ගත යුතු දෙයක් වන්නේ අපිට ද ස්වර්ගීය උරුමය ජේසුස් වහන්සේ පොරොන්දු වූ බවයි. ශුද්ධවූ ජුවාම් තුමා එළිදරව්ව පොතේ කියන ආකාරයට අපට ද සුදු සළු පිලි හැඳ දෙවියන් වහන්සේව වතට වත දී දැකීමේ භාග්‍ය ලබා ගැනීමට නම් අපි ද ජේසුස් වහන්සේ ඉගැන්වු ලෙස අන් අයට ප්‍රේම කරමින් ඔවුන් වහන්සේගේ ධර්මය පිළිපදිමින් ජීවත් විය යුතු වෙනවා. එලෙස ජීවත් වුවහොත් අපට ද මෙලොව ගෞරවය ලබන ශුද්ධවන්තයෙකු වීමට නොහැකි වුවද ශුද්ධවන්තයිනගේ සමෝස ධර්මලාභයට අයත් ශුද්ධවන්තයෙක් වීමේ හැකියාවක් ලැබේවි. ඒ සඳහා අපි බයිබලය උස්සගෙන ඉස්සර වගේ දේශනා කර ගෙන යාම වත් ජීවිත පරිත්‍යාගය වීම අද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තුවෙන්නේ නැහැ. අද යුගයේ ශුද්ධවන්තයෙක් ලෙස අපෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි කරන දේ හරියාකාරව, යහපත් ලෙස සමාජයට වටිනාකමක් එක් වන ලෙස ජීවත්වීමයි. ඒ තුළින් දෙවියන් වහන්සේව මහිම පත්කිරීමයි. එලෙස ජීවත්වීම තුළින් අපිටත් ශුද්ධවන්තයෙක් වීමට වරම් ලැබේවායි පතමින් විශේෂ ආකාරයෙන් අද මේ උතුම් වූ සියලු සාන්තුවරුන්ගේ මංගල දිනයේ දී අපි යාච්ඤා කරමු. ඒ වෙනුවෙන් වීර්‍යය වඩමු.

– නුවන් ප්‍රනාන්දු