සභාවේ ඉගැන්වීමේ ගුරු බලය

සභාවේ ඉගැන්වීමේ ගුරු බලය
Photo by Simone Savoldi / Unsplash

✝️ මුල් කිතුනු සභාවට බයිබලයක් තිබුනේ නැත. ඔවුන් සතුව තිබුනේ පුරාණ ගිවිසුම පමණි.ඔවුන් සභාවේ "ඉගැන්වීමේ ගුරු බලය"ට යටත් විය.

📕42 ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.
( ක්‍රියා 2 : 42 )

✝️ ඒ නිසා මුල් කිතුනු සභාව තුළ "ලිවීම හෝ කියවීම" මුලික ලක්ෂණ නොවු බව පැහැදිලිය.

✝️ මෙම "ඉගැන්වීමේ ගුරු බලය" ලබාදෙන ලද්දේ ජේසුස් වහන්සේ විසින්ම ශුද්ධ වු පේදුරු තුමන්ට සහ ශුද්ධ වු සභාවටය.පේදුරු තුමන් වෙත ස්වර්ග රාජ්‍යහි "යතුරු" ලබාදීම මගින් ජේසුස් වහන්සේ විසින් මෙම බලය සභාව වෙත පිරිනමන ලදී.

📕 19 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය''යි වදාළ සේක.
( මතෙව් 16 : 19 )

📕 17 ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.
📕 18 ''සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය.
(මතෙව් 18 : 17, 18)

✝️ පුරාණ ගිවිසුම තුළ පැවති "චර්මජේදනය"  පවා අහෝසි කරන ලද්දේ සභාවේ "ඉගැන්වීමේ ගුරු බලය" තුළ බව සදහන් කල යුතුය.

📕 6 ප්‍රේරිතවරයෝ ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ.
📕 7 දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, ''සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.
📕 11 එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු''යි කී ය.
( ක්‍රියා 6:7,11 )

📕 29 එනම්, දේව පිළිමවලට පිදූ දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් ද කාමමිථ්‍යාචාරයෙන් ද ඔබ වැළකිය යුතු බව මිස, වෙන කිසි බරක් ඔබ පිට නොතැබීම යහපතැ යි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය. ඔබ මේවායින් වළකින්නහු නම් යහපති. ඔබට සෙත් වේ වා!''
(ක්‍රියා 15 :, 29 )

👉 1: ශුද්ධ බයිබලය තුළ නව ගිවිසුම බිහිවුයේද සභාවේ "ඉගැන්වීමේ ගුරු බලය" තුළය. අපෝස්තුළුවරුන් සහ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් රචිත විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් අතුරින් ග්‍රන්ථ 27 ක් පමණක් නව ගිවිසුම සදහා තෝරා ගනු ලැබුවේ මෙම "ගුරු බලය"තුළය. ඒ ක්‍රි:ව 382දී ශුද්ධ වු පේදුරු තුමන්ගේ 37 වන අනුප්‍රාප්තිකයා වු "දමසස් පාප්වහන්සේගේ" මුලිකත්වයෙනි.එසේ සම්මත නොවු ග්‍රන්ථ අතර පේදුරු තුමන්ගේ සුභාරංචිය, තෝමස් තුමන්ගේ සුභාරංචිය සහ ජාකොබ් තුමන්ගේ සුභාරංචිය මෙන්ම පාවුළු තුමන්ගේ ක්‍රියා පොතද අන්තර්ගත වු බව සදහන් කළ යුතුමය.මෙම ග්‍රන්ථ එක් රැස් කිරීම සදහා සභා පියවරුන් වන ශුද්ධ වු ඉරනේයුස් තුමන්ගේ සිට අතානාසියුස් තුමන් දක්වා සභා පියවරුන්ගේ මගපෙන්වීම ඉවහල් විය.

👉 2: එසේම සමස්ථ ශුද්ධ ලියවිල්ලට අඩංගු ග්‍රන්ථ ප්‍රමාණය ග්‍රන්ථ 73 ක් වන බව තහවුරු කරන ලද්දේද ශුද්ධ වු කතෝලික සභාව විසින් එම "ඉගැන්වීමේක් ගුරු බලය" තුළය. ක්‍රි:ව 393 දී හිප්පෝ මන්ත්‍රණ සභාව, 397 සහ 419 කාර්තේජ් මන්ත්‍රණ සභාව, 1441 ෆ්ලෝරන්ස් හී මන්ත්‍රණ සභාව සහ එය නැවතත් ලුතර් විප්ලවයෙන් පසුව ට්‍රෙන්ට්  මන්ත්‍රණ සභාව විසින් ක්‍රි:ව 1546 දී සනාථ කර ඇත.

👉 3: එසේම සමදර්ශක සුභාරංචි කතුවරුන් පිළිබදව නව ගිවිසුම තුළ තහවුරු කර නැතත් එය සනාථ කර ඇත්තේ සභාවේ "ඉගැන්වීමේ ගුරු බලය" තුළය.

✝️ මාක් සුභාරංචිය මාක්  තුමන් විසින් රචිත බව ක්‍රි:ව 130 දී හියරෝපොලිස් හී රදගුරු පපියාස් තුමන් විසින්ද ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් ( 150-215 ), ටර්ටූලියන් ( 186-254 ) සහ ඔරිජින් තුමන් යන අය විසින් මේ බව සනාථ කර ඇත.

✝️ එසේම මතෙව්  සුභාරංචිය මතෙව් තුමන් විසින් රචිත බව ක්‍රි:ව 130 දී හියෙරෝපොලිස් හී රදගුරු තුමන් වු පාපියස් තුමන් ඉරනේයුස් තුමන් විසින් ( 180 ) ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් ( 150-215 ) ඔරිගන් ( 186-254 ) යන අය විසින් සනාථ කර ඇත.

✝️ එසේම ලුක් සුභාරංචිය ශුද්ධ වු ලුක් තුමන් විසින් රචිත බව ඉරනේයුස් තුමන් (ක්‍රි:ව 180 ) ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් ( 195 ) සිරියාවේ එව්සේබියස් (325 ) යන අය විසින් සනාථ කර ඇත.

👉 4: එසේම ව්‍යාජ ඉගැන්වීම් සභාව තුළ හටගත් අවස්ථාවන්හීදී ඒවා පරාජයට පත්කරමින් "සත්‍ය ධර්මය" තහවුරු කරන ලද්දේ සභා "ඉගැන්වීමේ ගුරු බලය" තුළය.

✝️ නිසියානු මන්ත්‍රණ සභාව තුළ ඒරියස් විසින් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ නොවන බවත් මැවිලි අතර ප්‍රධාන මැවිල්ල වන බවත් ප්‍රකාශ කළ අතර ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු තුමන් වන අතානාසියුස් තුමන් විසින් "සභාවේ ඉගැන්වීමේ ගුරු බලය මගින්" මෙම වේදභේදය පරාජයට පත් කරන ලදී.

️✝️ එසේම ක්‍රි: ව 457 දී කැල්සිඩෝන් මන්ත්‍රණ සභාව තුළ එවට්කස් විසින් ක්‍රිස්තුන් වහන්සේ හට එක් ස්භාවයක් පමණක් ඇති බව පවසා සිටියේය. නමුත් ලියෝ පාප් තුමන් සහ එම මන්ත්‍රණ සභාව තුළ ජේසුස් වහන්සේ සැබෑ දෙවියන් මෙන්ම සැබෑ මණුෂ්‍යයාද වන බව "ඉගැන්වීමේ ගුරු බලය"  මගින් සනාථ කරන ලදී.

✝️ මේ ආකාරයෙන් සතය්‍ය ධර්මය අද වන තුරු ආරක්ෂා වී ඇත්තේ ශුද්ධ වු කතෝලික සභාව සතුවන "ඉගැන්වීමේ ගුරු බලය" නිසා බව පැවසිය යුතුමය.

✝️ දිව්‍ය පුජාව තුළ අදටත් භාවිතා වන "නිසියානු විශ්වාස ලක්ෂණය"  ක්‍රි:ව 325 දී සම්මත වු නිසියානු විශ්වාස ලක්ෂණයයි.එය සම්මත වුයේ "සභාවේ ගුරු බලය"  තුළ බව අමතක නොකළ යුතු සතය්‍යතාවයකි.

✝️ මුලධර්මවාදී සභාවන් විසින් ප්‍රකාශ කරන්නේ "චර්මජේදන ගැටළුව" සභා ඉගැන්වීම තුළ නිරාකරණය කල ආකාරය ශුද්ධ ලියවිල්ල තුළ සදහන් වුවද අන්කිසිවක් බයිබලය තුළ සදහන් නොවන බවය. නමුත් ජෙරුසෙලම් මන්ත්‍රණ සභාව පවත්වන ලද්දේ ක්‍රි:ව 50 දී පමණය. අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොත තුළ අඩංගු වන්නේද ක්‍රි:ව 60 පමණ දක්වා කරුණු පමණකි. ශුද්ධ වූ පේදුරු තුමන් සහ ශුද්ධ වු පාවුලු තුමන් යන අය රෝමයේදී ප්‍රාණපරිතය්‍යාගී වීම පවා ක්‍රියා පොත තුළ සදහන්ව නැත. නමුත් සභාව විසිවන සියවස දක්වාම "ඉගැන්වීමේ ගුරු බලය" ඔස්සේ පැවත ගෙන එයි. ක්‍රි:ව 60 න් පසුව සභාව විසින් ගත් තීන්දු තීරණයන් ශුද්ධ ලියවිල්ල තුළ සදහන්ව නොමැත.එදා මෙන්ම අද දක්වාම "ශුද්ධාත්මයාණන් වහන්සේ"  අද දක්වාම "සභාවේ ඉගැන්වීමේ ගුරුබලය"  තුළ ජීවමානය.

📕 13 එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත.
(  ජොහන් 16 : 13 )

📕 13 අප ඔබට ලියන්නේ කියවන්නටත් තේරුම්ගන්නටත් පුළුවන් දේ පමණ ය. දැනට ඔබ තේරුම්ගෙන තිබෙන්නේ අර්ධ වශයෙන් ය.
( 2 කොරින්ති 1 : 13 )

✝️ මේ නිසා "සත්‍ය ඉගැන්විම්" අපෝස්තුළුවරුන්ගේ සිට සභා පිය ලේඛන, මන්ත්‍රණ සභා තුළින් සහ පාප් වහන්සේලාගේ අපෝස්තලික වය්‍යවස්‍ථාවන් තුළ අදටත් ශුද්ධාත්ම බලය තුළ සභාව මගින් අද දක්වාම  "ඉගැන්වීමේ  ගුරු බලය"මගින් ජීවමානව සිදු වේ.අද වන තුරුත් වෙනත් කිසිදු සභාවකට පිළිගත් "විශ්වීය මන්ත්‍රණ සභාවක්" පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය.ක්‍රි:ව 1054 දී සභාවෙන් වෙන් වු ඔතඩෝක්ස් සභාවට පවා අද දක්වාම කිසිදු විශ්වීය මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට හැකියාව ලැබී නැත්තේ ඒ නිසාය. මන්ද "සත්‍යයේ මුල් කණුව සහ මුල් ගල" වන්නේ ජේසුස් වහන්සේ විසින්ම ස්ථාපිත කළ අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව පමණක් වේ.

📕 15 මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ.
(1 තිමෝති 3 : 15 )

සතුට යනු කතෝලිකයකු වීමයි!
✍️සාහිත පෙරේරා