"ක්‍රිස්තු ශරීරය" නම් වු ශුද්ධ වු සභාව

"ක්‍රිස්තු ශරීරය" නම් වු ශුද්ධ වු සභාව
Photo by Edwin Andrade / Unsplash

✝️ බොහෝ කිතුනු නිකායන්ගේ සාමාජිකයන්ගෙන් තමන්ගේ සභාවේ නම කුමක්දැයි ඇසුවහොත් සභාවට නිශ්චිත නමක් නොමැති බවත් සභාව යනු "ක්‍රිස්තු ශරීරය" වන බවත් ප්‍රකාශ කරති.ඕනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාවය එම පුද්ගලයාගේ නම තුළින් හෙළිදරව් වන්නා සේම ඕනෑම සභාවක් හදුන්වාදීම සදහාද නමක් තිබීම තුළ එම සභාවේ අනන්‍යතාවය හෙළිදරව් වේ. උදාහරණ වශයෙන් " ප්‍රොතෙස්තන්ත" සභාවන්ට පවා නමක් ඇත. ප්‍රොතෙස්තන්ත සභාවන් මේ ආකාරයට දස දහස් ගණනක් ලෝකය පුරා වය්‍යප්තව ඇත.

Ex: මෙතෝදිස්ත සභාව, ඇංග්ලිකන් සභාව, සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට්ස්,පෙන්තකොස්ත, කල්වාරි,ඇසම්බ්ලි ඔෆ් ගෝඩ්

✝️ මේ ආකාරයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ විසින් පේදුරු තුමන් වෙත එඩේරික නායකත්වය ( මතෙව් 16:18-19,ජොහන් 21:16 ) ප්‍රදානය කරමින් ගොඩනැගූ සභාව ශුද්ධ වු කතෝලික සභාව බව අපෝස්තුළුවර ජොහන් තුමන්ගේ ශ්‍රාවකයෙකු වු සාන්ත ඉග්නායුසස් තුමන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ ක්‍රි:ව 107 දී ය.

"රදගුරු තුමන් සිටින තැන ක්‍රිස්තුස් වහන්සේගේ සභාව වු කතෝලික සභාව" පවතින බව "සාන්ත ඉග්නායුසස්" තුමන් පෙන්වා දෙයි.

✝️ඒ වන විට ශුද්ධ වු ලියවිල්ල තුළ නව ගිවිසුමට අඩංගු පොත් 27 වත් සම්මත වී නොතිබු බව සිහියට නගා ගැනීම කාට කාටත් වැදගත් ය. එසේම ක්‍රි:ව 1517 දක්වා කතෝලික ක්‍රිස්තියානි භේදයක් නොතිබිණ.එයට හේතුව වන්නේ එතෙක් පැවතියේ අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව සහ ග්‍රීක ඔතඩොකස් සභාව පමණක් වන නිසාය. මේ නිසා එතෙක් ක්‍රිසතියානින්ගෙන් අතිමහත් බහුතරය කතෝලිකයෝ වුහ.

ප්‍රොතෙස්තන්ත වය්‍යාපාරයේ නිර්මාතෲ වු මාටින් ලුතර් පවා "දේව වචනය සංරක්ෂණය කරමින් ශුද්ධ වු බයිබලය සම්පාදනය කිරීම පිළිබදව කතෝලික සභාවට ස්තූති කිරීමට" අමතක නොකල බව සභා ඉතිහාසය නොදත් 19 වන සියවසේ සභාවන් ආරම්භ කළ මුලධර්මවාදි සභාවන් වල මිතුරන්ට මතක් කර දීමට කැමති වෙමි.

"කතෝලික" යන ග්‍රීක වචනයේ අර්ථය වන්නේ සමස්ථයට අනුරූපී පුර්ණත්වයට අනුකූල යන අරුතකින් යුත් "විශ්වීය" යන්නයි.එනම් විශ්වය පුරා වය්‍යාප්ත ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ශුද්ධ වු කතෝලික සභාව වන බවය.

13 මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු.
(1 කොරින්ති 12 : 13 )

✝️එසේ නම් සභාව " ක්‍රිස්තු ශරීරය " වීම කතෝලික සභාවට අදාල නොවේද? මා මෙහිදී සදහන් කරන්නේ එය අදාලම වන්නේ අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාවට පමණක්ම වන බවයි. එසේ වන්නේ කෙසේද?

✝️ ජේසුස් වහන්සේ විසින් තමන්ගේ දූතකාර්‍ය අවසානයේදී උන්වහන්සේ විසින් අපෝස්තුළුවරුන් සහ අපෝස්තුළුවරුන්ගේ වචනය කරණකොටගෙන සභාවට එකතු වන අනුගාමිකයන්ගේ ඒකත්වය පිළිබදව යාච්ඤා කළ බව ප්‍රථමයෙන් පැවසීමට කැමැත්තෙමි.එසේ යාච්ඤා කරනු ලැබුවේ "සභාවේ ඒකතවය" පිළිබදව උන්වහන්සේ තුළ තිබු අභිමතය නිසාය.

20 ''මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි.
21 පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය.
( ජොහන් 17 : 20, 21)

✝️සභාව ශරීරය සහ සම්බන්ධ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේ හා සභාව අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය මෙන්ම එමගින් ඇතිවන ඒකත්වයේ බැම්ම මැනවින් පිළිඹිබු කරයි.

12 මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක.
13 මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු.
( 1 කොරින්ති 12 : 12-13 )

✝️තවද උන්වහන්සේගේ මාංශය සහ අපගේ මාංශය අතර ඇතිවන අභිරහස්මය ඒකාබද්ධතාවය පිළිබදවද උන්වහන්සේ ප්‍රකාශ කළ සේක. මෙය කතෝලික සභාවේ "දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ" පිළිබදව ඇති ගැඹුරු විශ්වාසය මගින් තහවුරු වනු ඇත.

56 මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.
(  ජොහන් 6 : 56 )

✝️පාවුලු තුමන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළින් ඇතිවන "සභාවේ ඒකත්වය" පිළිබදව මෙසේ සදහන් කරයි.

16 අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?
17 රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි.
( 1 කොරින්ති 10 : 16, 17)

✝️එකම දිව්‍ය පුජා යාගයකට සහභාගී වීමත් එකම දේව ප්‍රසාද නිධාන ලබා ගැනීමත්  මගින් පාවුලු තුමන්ගේ මෙම ඉගැන්වීම කතෝලික සභාව තුළ විද්‍යාමාන වන බව පෙන්වා දිය හැකිය.

✝️සභාව ක්‍රිස්තු ශරීරය වන බව පැවසීමේදී මුලිකවම කරුණු 3 ක් පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ.( ක:ස:ධ 789)

👉1: සභාව නැමති ශරීරයේ හිස වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ( කොලොස්සි 1:18 )
✝️සභාවේ මහේශාක්‍ය නායකයාණන් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. සභාවේ හිස වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේට අනූරූපි වීම සදහා ශරීරය වන ශුද්ධ වු සභාවට ශුද්ධාත්ම දීමනාවන් දානය කරන සේක.
👉2: ක්‍රිස්තුස් වහන්සේ හා සමග ඇති එකමුතු බවේ ප්‍රථිපලයක් වශයෙන් සාමාජිකයන් අතර පවතින ඒකත්වය

✝️ තමන් ලබන එක් එක් ශුද්ධාත්ම දීමනාවන් තුළ( 1 කොරින්ති 12:30-31 ) තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය නොව සභාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බව පාවුලු තුමන් විසින් පෙන්වා දෙනු ලබයි.අවයවයන්ගේ විවිධත්වය සිරුරේ ඒකාබද්ධතාවයට බාධාවක් නොවේ. ක්‍රිස්තු ශරීරය නැමති සභාව ගොඩනැගීමේදී අවයවන්ගේ සහ කාර්‍යන්ගේ විවිධත්වයක් ඇත. විශේෂයෙන් සභාවේ එක් සමාජිකයෙකු දුක් විදී නම් සියල්ලෝම ඔහුත් සමග දුක් විදින බවත් එක් අයකු මහිමයට පත්වන විටදී සියල්ලෝම ඔහු සමග ප්‍රීති වන බවත් පාවුලු තුමන් කොරින්ති සංඝයට පැහැදිලි කරදෙයි.සභාව තුළ "සාන්තුවරයන්ගේ සමෝසධර්මලාභය" නැමති සතය්‍යතාවය ( මිහිපිට සභාව,දුක්විදින සභාව,ජයග්‍රාහී සභාව) මෙම සංකල්පය තහවුරු කරනු ලබයි.

26 මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.
( 1 කොරින්ති 12 : 26 )
24 ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.
( කොලොස්සි 1:24 )

✝️දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළින් ක්‍රිස්තුස් වහන්සේ සහ සභාව අතර ඇති වන්නාවු ඒකත්වය ඉහත දීර්ඝව විස්තර කොට ඇත.
( ජොහන් 6:56, 1 කොරින්ති 10:16-17 )

👉3: සභාව ක්‍රිස්තුස් වහන්සේගේ මනාලියයි.

✝️සභාව ක්‍රිස්තු මනාලිය වීම තුළින් ක්‍රිස්තුස් වහන්සේ සහ සභාව අතර ඇති ගිවිසුම් සම්බන්ධතාවය පිළිඹිබු කරයි. පුරාණ ගිවිසුම තුළ සීනයි ගිවිසුම හරහා දෙවියන් වහන්සේ හා ඊශ්‍රායල් ජනතාව අතර ගොඩනගා ගත් "ගිවිසුම් සම්බන්ධතාවය" ක්‍රිස්තුස් වහන්සේ සහ සභාව තුළින් පෙන්නුම් කරයි.

21 තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි.                            22 මම එහි දේව මාලිගාවක් නොදිටිමි. මන්ද, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක.
( එළිදරව්ව 21 : 21:22 )
23 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක.             25 පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.
( එපීස 5 : 23, 25 )

✝️පුරාණ ගිවිසුම තුළ තෝරා ගත් ජනතාව ඊශ්‍රායෙල් ජනතාව වුවා සේම දෙවියන් වහන්සේ විසින් නව ගිවිසුම තුළ ශුද්ධ වු සභාව තුළින් ශුද්ධ වු ලියවිල්ල සම්පූර්ණත්වයට පත් කිරිම කතෝලික සභාව ක්‍රිස්තු මනාලිය වන බවට ඒ සදහා ජීවමාන සාක්ෂියකි. 4 වන සියවස තුළදි ඩැමසස් පාප් තුමන්ගේ අනුමැතියෙන් නව ගිවිසුමේ පොත් 27 අනුමත වුයේ ක්‍රිස්තු මනාලිය වුද පේදුරු තුමන්ගේ අනුප්‍රාප්තිකයා එඩේරික නායකත්වය  දරණ ශුද්ධ වු සභාවේ ගුරු බලයෙන් බව ප්‍රොතෙස්තන්ත සභාවන් හී නිර්මාතෘ මාටින් ලුතර් පවා පිළිගන්නා ලද සතය්‍යතාවයකි.

✝️ මෙසේ ක්‍රිස්තුස් වහන්සේ සහ සභාව එක්වී පුර්ණ ක්‍රිස්තුස් නිර්මාණය කරති. මේ නිසා අප ක්‍රිස්තියානින් පමණක් නොව ක්‍රිස්තුස් වීම පිළිබදව ප්‍රීති වෙමු. ( ක:ස:ධ 795 )

✝️මේ නිසාවෙන් සභාව ක්‍රිස්තු ශරීරය වුවද ක්‍රිස්තු මනාලිය වුවද මෙම ද්ව්ත්ව සංකල්පය තුළින්ම ගමය්‍ය වන්නේ එම සභාව නම් ජේසුස් වහන්සේ විසින් පේදුරු තුමන්ගේ එඩේරික නායකත්වය මත ( මතෙව් 16:18-19, ජොහන් 21:16 ) ගොඩනැගූ ශුද්ධ වු සභාව හෙවත් අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව පමණක් වන බවය.

✝️සතුට යනු කතෝලිකයකු වීමයි!🙏
✍️සාහිත පෙරේරා