පෘතුගීසින්ගේ පැමිණීමට පෙර ලක්දිව කිතු දහම - දෙවන කොටස

පෘතුගීසින්ගේ පැමිණීමට පෙර ලක්දිව කිතු දහම - දෙවන කොටස
Photo by Naduni Ranasinghe / Unsplash

පෘතුගීසීන්ගේ පැමිණීම පැමිණීමට බොහෝ ඉහත වකවානුවක එනම් ක්‍රි.ව. පළමුවන සියවසේ දෙවන භාගයේ පටන් කේරළ ප්‍රාන්තයේ , සහ දකුණු ඉන්දියාවේ වෙනත් බොහෝ ප්‍රදේශවල කිතුනු ඇදහිල්ල පැවති බවට මුලාශ්‍රයන් ඇත. එපමණක් නොව එම ඇදහිල්ල සුළු ජන කොටසකට සීමා නොවූවක් බවට සාක්ෂි වශයෙන් ඒ යුගයට අයත් යැයි කියැවෙන කිතුනු දේවස්ථානයන්හි නටබුන් ද , ගුරු වසම් හෙවත් මීසම් ද සහ රාජගුරු වසම් ද පැවති බව කියැවෙන ජනප්‍රවාදයන් මෙන්ම ලිඛිත ලේඛනද පවතී. ( Origins & Growth of Christianity in Kerala – K.J.John , History of Christianity in India ( Christian Heritage of Kerala Rev. Dr. M. Mundadan) එහෙත් ඉන්දියාවේ මහාරාෂ්ටයේ හා ගුජරාටයේ එවැනිම පැරණි යුගයක කිතු දහම පැවති බව විදෙස් ලේඛනයන් වල සඳහන් වේ. ලක්දිව පුරාණ කිතුනු ඇදහිල්ල ගැන ද කිව හැක්කේ මෙයම ය.

ඒ පිළිබඳව අපේ රටේ ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. එහෙත් පැරණි යුගවල ලංකාව හා වෙළඳ , දේශපාලනමය , සංස්කෘතික සහ සමාජයීය යන විවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා පැවැත්වූ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල ඇති ලිපි ලේඛන වල ලක්දිව පැවති කිතුනු ඇදහිල්ල පිළිබඳ ව සඳහන් වේ. ලක්දිව වෙසෙන කිතුනු ජනතාව නිතර අසාධාරණ චෝදනා ලබති. මෙසේ අසාධාරණ චෝදනා එල්ල කරන්නන් අතර බොහෝ දෙනෙක් කරුණු නොදැන එසේ කරති. තවත් අය හොඳහැටි කරුනු දැන සිටියත් බොහෝ විට තමන් ම මවාපාන අසත්‍යයෙහි ගැලි සිට. තම කුට අරමුණු සපුරා ගැනිම සඳහා ඒවා ප්‍රචාරය කරති. ආසියාවේ කිතුනු ඉතිහාසය පිළිබඳ අද පෙර- අපරදිග විද්වතුන් අතර විශාල උනන්දූවක් ඇතිවි තිබේ.දකුණු ආසියාවේ මෙන්ම , නිරිතදිග ආසියාකරයේ ද ගිලිහි ගොස් තිබු කිතුනු ඉතිහාසය පිළිබඳ කරුනු අද ක්‍රමයෙන් මතු වෙමින් පවතින්නේ ය.

මේ අනුව සැහෙන කිතුනු පිරිසක් ආසියාවේ පැතිර වාසය කළ බවට සාධක ලැබී තිබේ. මෙම කිතුනු සංඝ පිරිහිමට පත් වි අත්තේ පසු කලෙක ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත විමත් සමඟ යි. ඉස්ලාම් ධර්මය බිහි වු අපරදිග පළාත්වල හෙවත් මැද පෙරදිග සහ යුරෝපයේ ඇති වු ආගම් ගටුම් පෙරදිගටත් ගාලා ආවේ ය. මේ හේතුවේන් දකුණු ආසියාකරයේ රටවල ද මේම ගැටුම් ව්‍යාප්ත වි කිතු දහම පසුබැස්මට ලක්විය.මොන්ගෝලියානු ඛාන්වරුන් (රජවරු ) ඉස්ලාම් දහම වැළඳ ගැනිමත් සමඟ කිතුනු දහම්දුතවරුනට මෙහි පැමිණිම මහත් සේ අවහිර විය. ටිමුර් ලෙන්ක් බාන්වරයා ඉස්ලාම් දහම වැළඳ ගැනිමත් සමග කිතුනු දහම්දුත කටයුතු මුළුමනින් ම ඇණහිටුවන ලදි. මේ අනුව අසියාව තුළ කිතු දහමේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් හින විය.

මුල දී ප්‍රබල ව පැතිර ගිය කිතුනුවෝ පර්සියාව සිරියාව වැනි රටවල් සමඟ ඇති කරගෙන සිටි සබඳතා කැඩි ගොස් ඒ ඒ රටවල තනි වි විසිර ගියෝ ය. මේ අනුව දකුණු ඉන්දියාව වැනි 80,000 කට වැඩි කිතුනුවන් සංඛ්‍යාවක් සිටි පළාත්වල හැර සෙසු කුඩා කණ්ඩායම් හුදකාලාව අහෝසි වි ගියෝ ය. ලංකාවේ සිටි කිතුනු පිරිසට ද මෙ වැනි ඉරණමකට මුහුණ දිමට සිදු වුයේ යැයි විශ්වාස කල හැකිය. (“Bombay Examiner”-Pre-Colonial Christianity in Bombay, Larry pereira- 1992.10.24-Quoted by Rita Welgampola in ලක්දිව කිතුනු පුරාණය. )

ක්‍රි.ව 14 -16 කාලය වන විට ඇතැම් බටහිර රටවල් කිතුනු දහම්දුත මෙහෙවර තමන් වෙත පවරා ගත්තෝ ය. මෙය දහමට ඇති ලැදියාවටත් වඩා තමන් ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනිම සඳහා බව කිව යුතු යි. ආගම දඩමීමා කැරගෙන වැඩියක් තම අධිරාජ්‍යයන් ව්‍යාප්ත කර ගැනිම සඳහා වු මේ කාර්යය ඔවුන් අතර පැවති තරගකාරි ගැටුම් ආසියාකරයට ගෙන ඒමට හේතු විය. මෙසේ අප රටවලට පැමිණි අධිරාජ්‍යවාදිහු ඔහුන්ට පෙර සිටි කිසි ම කිතුනු කණ්ඩායාමක් නොපිළිගත්හ.

තමන් පළමුවරට කිතු දහම හදුන්වා දුන් බවට ප්‍රසාදය ලැබිමේ චේතනාවෙන් පෙර සිටි කිතුනු පිරිස් නොසලකා හැරිම හෝ වේදභේද කරුවන් ලෙස හංවඩු ගැසිම ඔවුන්ගේ පිලිවෙත විය. දකුණු ඉන්දියාවේ 80 000 කට වැඩි පිරිසක් වු කතෝලික පිරිස නෙස්ටෝරියාන හෙවත් වේදභේදකරු පිරිසක් ලෙස හංවඩු ගසා නො පිළිගැනිම මෙයට කදිම නිදසුනකි.එම දකුණු ඉන්දියාවේ සිටි කිතුනු පිරිස ශු. තෝමස් අපෝස්තුළුවරයාණන් ගෙන් ම දහම හඳුනාගත් පිරිසකි. ඔවුන් ශු. තෝමස් මුනිවරයාණන් පැමිනි සිරියාවේ බැති පිළිවෙත් මෙන් ම බස ද අනුගමනය කරන නිසා සිරෝ මලබාර් සහ සිරෝ මලන්කාර ද සභාවන් ලෙස හැඳුන්වනු ලබති. ක්‍රි.ව 52 සිට කතෝලික වු මේ පිරිස අද දක්වා ම ඉතා බැතිමත් ව කතෝලික දහාම අදහති. වාසනාවකට මෙන් මෙසේ වැළැලි ගිය සහ බටහිර ජාතින් විසින් සඟවන ලද ඉතිහාස සාධක රැසක් ඉතිහාසඥයින් විසින් හෙළි කරනු ලබයි. චීන බසට හරවන ලද බියිබලයේ කොටස් රැසක් ගල්ගුහාවක තිබි මෑතකදි සොයාගෙන ඇත.

“ජේසු සුත්‍ර” නමින් වන මේවා ක්‍රි.ව. 7 වැනි ශත වර්ෂයේදී පමණ කරණ ලද ඒවා බවට හෙළි වි ඇත. එසේ ම ක්‍රි.ව. 630 දී චීනයේ ඩා කින් නැමති ශුද්ධ නගරයේ තනන ලද දෙව්මැදුරක් සහිත කිතුනු ආරාමයක් ක්‍රි.ව. 1999 දී සොයා ගන්නා ලදි. එකල එය නම් කැර ඇත්තේ “ක්‍රිස්තු පැගෝඩාව” යනුවෙන් ය. මෙය අද චින රජය යටතේ පවතින පුරා වස්තු ගොඩනැගිල්ලකි.(The Jesus Sutras -Martin Palmer -The Ballantine Publishin Group, New York ) අනුරාධපුර නගරය තුළ පුරාවිද්‍යාත්මක කැණිම්වලදි හමු වු කුරුසියට සමාන කුරුස තුනක් තවදුරටත් ගෝවා නගරයේ දි ද (2000 මැයි මස ) පාකිස්ථානයේ තක්සිලා නගරයේ දි ද ඇෆ්ගනිස්ථානයේ දි සොයා ගෙන ඇති බව වාර්තා වන්නේ ය.මෙයින් පෙනී යන්නේ පෙරදිග උපන් කිතු දහම බටහිර අධිරාජ්‍යවාදින් පමිණිමට බොහෝ පෙර සිට ම පෙරදිග රටවල ප්‍රබලව පැතිර ගොස් තිබුණ බව යි.

ශ්‍රි ලංකාව තුළ ද එසේම ය.කිතු සමිදුන්ගේ ශ්‍රාවකයින් දොළොස් දෙනාගෙන් ම ලොව විවිධ දේශයන්හි සිදු වූ කිතු දහමේ ව්‍යාප්තිය නිසා කිතුනු ඇදහිල්ල ලක් දිවට ද ලක්දිවට ද හදුන්වා දෙනු ලැබූ සැටිත් , එය ව්‍යාප්ත වූ සැටිත් හේතුවූ සාධක පෙන්නුම් කෙරේ. මෙහිදී අපගේ අවධානය යොමු වන එක් කරුණක් වෙයි. එනම් එදා ලක්දිව පැවතියේ විවිධ නිකායන් ගෙන් සැදුනා වූ ද , විවිධ නම් දැරූ හා වත් පිළිවෙත් වලින් විවිධ වූ ද , කිතුනු සංඝයන් පැවති බවයි. මේ වෙනස්කම් හා ධර්මය හා බැඳි මතිමතාන්තර පිළිබඳ සියුම් විශ්ලේෂණයක් කිරීම හෝ ඒවායේ වැරදි නිවැරදි භාවය නිරූපණය කිරීම මෙහි අරමුණ නොවේ. අප පොදුවේ ප්‍රකාශ කර සිටින්නේ පෘතුගීසින් පැමිණීමට පෙරාතුව ලක්දිව තුළ කිතුනු ඇදහිල්ල ස්ථාපනය වී පැවති බවයි.

සටහන – අසේල දසනායක