ජෝතිෂ්‍ය කිතුනු ඇසින් - 1 කොටස

ජෝතිෂ්‍ය කිතුනු ඇසින් - 1 කොටස

බොහොමයක් කිතුනුවන් අද වන විට ජෝතිෂ්‍ය හා සමග ඉතා සමීප සබදතාවයක් පවත්වයි. මෙම ක්‍රියාව යමෙකු හෙළා දකිනා විට කිතුනුවන් නිදහසට කරුණු ලෙස මෙවන් මතයන් ඉදිරිපත් කරනු ලබයි,

♠️ ජෝතිෂ්‍ය තුළ විද්‍යාත්මක පැතිකඩක් ඇත.
♠️ ජෝතිෂ්‍ය සොයා ගනු ලැබුවේ ඇසේරියන්වරු බැවින් එය දෙවියන් වහන්සේගෙන් ලත් තිළිණයකි.
♠️ ජෝතිෂ්‍ය විශ්වාස කිරීම මගින් දේව කැමැත්ත හා අණ පනත් නොකැඩේ.

"ජෝතිෂ්‍ය තුළ විද්‍යාත්මක පැතිකඩක් ඇත."

මෙම මතවාදය කිසිසේත් පිළිගත නොහැක. මන්දයත් ජාත්‍යන්තර ජෝතිෂ්‍ය සංගමය(International Astronomical Association)විසින් ජෝතිෂ්‍ය තුළ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවට ප්‍රකාශ කර ඇත. නමුත් එහි අර්ථය ග්‍රහලෝකයන්ට අපට බලපෑම් කළ නොහැකි බව යන්න නොව සදෙහි හාබලපෑම මත සමුදුර තුළ වඩදිය, භාදිය ඇති වන්නා සේ අප සිරුර තුළ ද ග්‍රහලෝක පදනම්ව වෙනස්කම් සිදු විය හැක.

උදා. :- සිංහල ජන වහර හා ප්‍රතිකාර තුළ සෙම් රෝග නිතර සැදෙන්නන්ට පෝය දිනයන් හි ස්නානයෙන් වැලකීමට උපදෙස් දීම.
හේතුව :- 🌕🎑සදෙහි බලපෑම

මෙමගින් පෙනී යන්නේ ග්‍රහලෝක හරහා අපේ සිරුරට බලපෑම් කළ හැකි බවය. අරුත් අපගේ  සිරුරේ නිරෝගිබව කෙරෙහි, අවේග කෙරෙහි(mood), හා පෞරුෂත්වය(personality)වැනි අංගයන් කෙරෙහි බලපෑම් කළ හැකි බවයි. නමුත් කිතුනු අප සිහියෙහි තබා ගත යුතු කරුණ නම් දෙවියන් වහන්සේ පෙනෙන හා නොපෙනෙන සියල්ලෙහි මැවුම්කාරයාණන් බවයි. ග්‍රහලෝකයන් හරහා වුවද බලපෑම්  අප මත බලපානුයේ උන්වහන්සේගේ කැමැත්ත පරිදිය. එමෙන්ම මෙම ග්‍රහලෝකයන්ට අපගේ සිරුර කෙරෙහි බලපෑම් කල හැකි වුවද අපගේ අනාගතය තීරණය කළ නොහැකි බවය. මන්ද එය දෙවියන් වහන්සේ දුන් නිදහසට විරුද්ධව සිදුවන ක්‍රියාවකි. දෙවියන් වහන්සේ ලෝකාරම්භයේ සිටම මිනිසාට නිදහස් කැමැත්ත දුනි.ඔබගේ අනාගතය තීරණය වනුයේ දේව සැලැස්ම හා ඔබගේම ක්‍රියා හා සිතුම්පැතුම් මතය.

"ජෝතිෂ්‍ය සොයා ගනු ලැබුවේ ඇසේරියන්වරු බැවින් එය දෙවියන් වහන්සේගෙන් ලත් තිළිණයකි"

මෙම මතවාදය මා හට දේව ධර්මාචාර්ය විභාග සදහා පෙනී සිටි අයෙකු විසින් ප්‍රකාශ  කරනු ලැබීම කණගාටුවට කරුණකි. ඇසේරියෙන්වරු යනු පෙරදිග ඔරොතඩොක්ස් සභාවට අයත්  නිකායක්ය. මොවුන් විසින් තාරකා විද්‍යාව තුළ වූ කරුණු සොයාගෙන  ඇති බවට සාක්ෂි ඇත.එනමුදු ජෝතිෂ්‍ය හා කිසිදු සබදතාවයක් ඇසේරියන්වරුන්ට නොමැත.ඇසේරියන්වරු දායකත්වය ලබා දි ඇත්තේ "තාරක විද්‍යාව"සදහා පමණි. මෙය මෙලෙස සාවද්‍ය ලෙස අර්ථකතනය සදහා පාදක වී ඇත්තේ මේ සදහා යෙදෙන ඉංග්‍රීසි වචනය වේ. එය නම් astrology හා astronomy ය. බැලු බැල්මට එකම අර්ථයක් ඇති වචනයන් සේ පෙනුනද එහි අර්ථ දෙකක් ඇත. Astrology යනු ජෝතිෂ්‍ය වේ. මෙම ශාස්ත්‍රය අනුගමනය සදහා කිතුණු සභාව තුළ කිසිදු අවසරයක් නොමැත. Astronomy යනු තාරකා විද්‍යාව වේ. මේ තුළ විද්‍යාත්මක පැතිකඩක් ඇත. මෙම ශාස්ත්‍රය හරහා හදාරනුයේ ග්‍රහලෝක හි පැවැත්ම හා ගමන් මාර්ග පථයන් හා එයින් පෘථිවියට වන්නාවූ බලපෑම පිළිබදවය. කතෝලික සභාව තුළ මෙය හැදෑරීම සබැඳිව  කිසිදු විරෝධතාවයක් නොමැත.

"ජෝතිෂ්‍ය විශ්වාස කිරීම මගින් දේව කැමැත්ත හා අණ පනත් නොකැඩේ."

දස පනත මගින් අපට අණ කරනුයේ සැබෑ වූ එකම දෙවියන්ට පමණක් වන්දනා කිරීමටය. වන්දනාමාන කිරීමෙන් හුදෙක් ගරු කිරීමම පමණක් නොව. උන්වහන්සේ කෙරෙහි මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන් හා මුළු වීර්යයෙන්ම උන්වහන්සේ විශ්වාස කිරීම, ප්‍රේම කිරීම හා අදහා ගැනීම පිලිබිබු කරනු ලබයි . එනිසා ජෝතිෂ්‍ය ශාස්ත්‍රය විශ්වාස කිරීමෙන් ඔබ කඩ කරනුයේ පළවෙනි පනතය. මන්ද ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්ම විශ්වාස නොකර මැවිල්ලක් මගින් බිහි වූ ජෝතිෂ්‍ය  ශාස්ත්‍රය විශ්වාස කිරීම හා තම අනාගතය ඊට භාර දීමයි.

හත්දින්නේ තරු වැල  බැද තබන්නට හෝ මුව සිරසේ බඳ පටිය ලිහන්නට හෝ නුඹට හැකිද?නියම කලට ග්‍රහ රාශී චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකිද? මහා වළසා සහ කුඩා වලසා නම් තරු වැල් හසුරුවන්නට නුඹට හැකිද? අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහිද? පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකිද?
(ජොබ් 38:31-33)

සියල්ල තුළ වූ පාලනය හා අධිකාරීත්වය දෙවියන් වහන්සේ සතුය. උන්වහන්සේ සර්වබලධාරී වේ. ග්‍රහලෝකයන් උන්වහන්සේගේ මැවිල්ලක් පමණි. ඒවාට අපට බලපෑම් කල හැකි වුවද අනාගතය තීරණය කළ නොහැකියි. එනිසා මැවිල්ලක් හෝ ග්‍රහලෝකයන්ට අපගේ අනාගතය තීරණය කිරීමට භාර නොදී සියල්ලෙහි මැදුම්කාරයාණන් වූ පියාණන් වහන්සේගේ දෑතට අපගේ අනාගතය භාර දීම හොබනේය.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්