ක්‍රිස්තුස් වහන්සේ සියල්ලේ රජාණන්වන්නේ කෙසේද

ක්‍රිස්තුස් වහන්සේ සියල්ලේ රජාණන්වන්නේ කෙසේද

ලොව පුරා සිටින සියලුම ක්‍රිස්තියානි සහ කිතුනු ප්‍රජාව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තම රජාණන් මෙන්ම ස්වාමියාණන් ලෙස සලකා උන්වහන්සේට සේවය කරති. ඔවුහු උන්වහන්සේගෙ මහිමය ගයති. භය භක්තියෙන් වන්දනා කරති මෙසේ ජේසු සමිදුන්ව විශ්වයේ රජාණන් ලෙස සැමරීමට හේතු වන කරුණු ශුද්ධ වූ බයිබලය ඇසුරින් මෙසේ පැහැදිලි කළ හැකිය.

පළමු කොට ජේසුස් වහන්සේ සඳහා භාවිත වන නාමයන් වන ක්‍රිස්තුස් යන නාමයේ අර්ථය දෙස බැලූ කල එහි අර්ථය නම් ආලේප කරන ලද තැනැත්තා යන්නයි පුරාණ ගිවිසුම තුළදී රජවරුන් ආලේප කිරීම රාජ අභිෂේකයේ මූලික අංගය විය එබැවින් පියාණන් වහන්සේ ජේසු සමිදුන්ව රජාණන් ලෙස අභිෂේක කර ඇති බව පැහැදිලි වේ

"එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය."
(1 සාමුවෙල් 16:13)

දෙවනුව දෙවියන් වහන්සේම ඊශායෙල් වංශය ගලවා ගැනීමට ගැලවුම්කරුවෙකු පොරොන්දු වූ බව පුරාණ ගිවිසුම සාක්ෂි දරයි එන්නට සිටින තැනන් වහන්සේ පිළිබදව බොහෝ දිවැස් වැසි පුරාණ ගිවිසුම පුරාම සඳහන් වේ මේවා මෙසයානික අනාවැකි නම් වේ  මෙසයානික අනාවැකි බොහොමයක එන්නට සිටින තැනන් වහන්සේ සියල්ලේ රජාණන් වන බව දක්වා ඇත
යෙසායා දිවැස්ප්‍රසාදිතුමන් පවසන ආකාරයට එතුමාණන් රජ කෙනෙක් බව පැහැදිලිවේ

"අපට ළදරුවෙක් උපන්නේ ය;
අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය;
එතුමාණෝ අපේ රජු වන සේක.
එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය;
ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය;
සදාතන පියාණෝ ය;
සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක."
(යෙසායා 9:6)

එසේම මීකා දිවැස්ප්‍රසාදිතුමන් පවසන ආකාරයට එතුමාණන් බෙත්ලෙහෙමේ උපත ලබන බව සඳහන් වේ ජේසු සමිදුන්ද උපත ලැබුවේ බෙත්ලෙහෙමෙදීය එබැවින් එතුමාණන් ඊශායෙල්හි රජාණන් බව එමගින් සනාථ වේ

"එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා!
තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය.
එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය.
එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”
(මීකා 5: 1)

ඉහත සඳහන් කලේ මෙසයානික අනාවැකි 2ක් පමණි තවත් බොහෝ අනාවැකි ජේසුස් ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ මෙලෝ දිවිය තුල ඉෂ්ට කල සේක එබැවින් එතුමාණන් සැබවින්ම විශ්වයේ රජාණන්මය

තෙවනුව ජේසුස් වහන්සේ දාවිත්ගේ රජ පරපුරෙන් මෙලොව උපත ලද බැව්න් උරුමයෙන් රාජ්‍යත්වය උන්වහන්සේට අයිති වේ එසේ වුනේ එතුමන්ගේ සුරැකි පියාණන් වන ශුද්ධ වූ ජුසේ මුනිදුන් දාවිත්ගේ රජ පරපුරෙන් එන බැවිනි උන්වහන්සේගෙ උපත මගින් යෙසායා දිවැසිවරයාණන්ගේ පහත අනාවැකිය සත්‍ය බවට පත්විය

“දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය.
එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය "
(යෙසායා 11: 1)

එමෙන්ම ඉශ්‍රායෙල් වංශය 12 තුළින් බයිබලීය සාහිත්‍යය තුළ මුලු මානව සංහතියත් 12 ඉලක්කම තුළින් විශ්වයත් නිරූපණය වන නිසා ජේසුස් සමිදුන් ඉශායෙල්හි රජු ලෙස දැක්වීම තුළින් උන්වහන්සේ මුලු විශ්වයේම රජාණන් වන බවද නිගමනය කල හැකිය.

සිව්වෙනුව ජේසු සමිදුන්ගේ ජීවිතය තුළින්ද බොහෝ අවස්ථාවලදී ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යත්වය ප්‍රකාශ වූ අවස්ථාවල් ශුද්ධ වූ බයිබලයේ  නව ගිවිසුමේ සඳහන්වේ

ක්‍රිස්තුස් වහන්සේගෙ උපත උන්වහන්සේගේ මාතාවන් වන දෙව්මවුන්ට දක්වන අවස්ථාවේදි ගාබ්‍රියෙල් අග්‍රදූතතුමන් දක්වන දේ උන්වහන්සේගේ රාජ්‍යත්වය පිලිබද කදිම සාක්ෂියකි

“උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”
(මතෙව් 1: 32)

එමගින් එතුමන් එන්නට සිටින සාමයේ රජාණන් බව ප්‍රත්‍යක්ෂ වේ එසේම එතුමානන් උපත ලද අවස්ථාවේ රජවරුන් සහ එඩේරුන් එක්ව උන්වහන්සේට නමස්කාර කිරීම තුළින්
එතුමන් සියල්ලන්ගේ රජු බව පැහැදිලි වේ

"ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. "
( මතෙව් 2 : 11)

ශාස්ත්‍රවන්තයන් වන රජවරු ජේසු බිළිඳුන් නැමද පඩුරු පිදීම තුලින් එතුමාණන් රජවරුන්ගේත් රජු බව අපට පැහැදිලි වේ. අවසාන විනිශ්චය පිළිබදව ජේසු සමිදුන් උගන්වන විටදී මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය තුලදීත් උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණෝ යයි සඳහන් කරන්නෙ තමන් වහන්සේ ගැනමය.

එබැවින් මතු යම් දිනක උන්වහන්සේ රාජශ්‍රීයෙන් නැවත ඒකාන්තයෙන් මෙලොවට වැඩම කරනු ඇත එසේම උන්වහන්සේ සියලු ජනයන් විනිශ්චය කර ඔවුන් කෙරේ අධිපතිකම් කරනු ඇත.

"ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය. "
(මතෙව් 24 : 30)
“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක. එවිට සියලු ජාතීහු උන් වහන්සේ අබිමුවෙහි රැස් කරනු ලබන්නෝ ය. එඬේරෙකු, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන් වහන්සේ ද ඔවුන් වෙන් කොට, 33බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක."
(මතෙව් 25 : 31)

එසේම ජේසු සමිදුන් රාජ තේජසින් ජෙරුසෙලමට පැමිණීම එතුමාණන්ගේ රාජ්‍යත්වය පිලිබද දක්වන මනා නිදසුනකි මෙම පැමිණිම තුලින් තමන් දිවැස් වැකියක් සත්‍ය වී ඇත.

"සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න;
ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න.
ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක.
එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක.
යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක "
(සෙකරියා 9 : 9)

ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම සේවක රජ කෙනෙකි තම අනුගාමිකයන්ගේ පාද සේදීමට තරම් පහත් වූ සේවක රජ කෙනෙකි උන්වහන්සේගේ රාජ්‍යත්වය මෙලොව අන් රජවරුන්ගේ මෙන් නොවේ එය සැබවින්ම ආදරය පිරුණු සර්ව සාධාරණ පාලනයකි.

උන්වහන්සේගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වන රාජ තේජසින් ජෙරුසෙලමට පිවිසීම තුළින් මේ බව සනාත වේ අන් රජවරුන් මෙන් අශ්වයෙක් පිට නොනැගී කොටලුවෙකු පිට නැගී උන්වහන්සේ ගමන් ගන්නේ උන්වහන්සේගෙ නිහතමානීකම නිසාමය එසේම එම අවස්ථාවේදි ජනතාව රජෙකු පිලිගන්නා ආකාරයට උතුරු සලු හෙලා අතු වනමින් හෝසන්නා කියමින් කෑ ගැසීම තුලින් එතුමන් සැබවින්ම රජාණන් බව සියල්ලට පිලිගැනීමට කරන ආරාධනාවක්මය එහෙත් උන්වහන්සේ එන්නේ අන් රජෙකු මෙන් රජවන්නට නොවේතම ජනයා වෙනුවෙන් පූජා වීමටයි දෙව් කැමැත්ත ඉටු කරලීමටයි  එබැවින් එතුමන් සැබෑම රජකු ගේ ගුණාංග සියල්ලම දරාගෙන ඇත.

"ශ්‍රාවකයෝ ගොස් ජේසුස් වහන්සේ නියම කළ ලෙස කළහ: කොටළු දෙන ද පැටියා ද ගෙනවුත් තමන්ගේ උතුරුසළු උන් පිට එළාලූහ. උන් වහන්සේ හිඳගත් සේක. සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය. 9පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ."
(මතෙව් 21 : 6-9)

ජේසු සමිදුන්ගේ ජීවිතයේ කූඨප්‍රාප්තිය වන කුරුස ගස මතද ක්‍රිස්තුස් වහන්සේ රජාණන් බව හැගවෙන දේ සිදු වී ඇත එනම් එතුමාණන් දකුණු පස සිටි සොරා එතුමාණන් රජාණන් ලෙස පිලිගෙන එතුමන්ගෙන් දයානුකම්පාව ඉල්ලීම සහ එතුමන්ගෙ හිසට ඉහලිට් සවි කර තිබූ පුවරුවයි මේ සියල්ල තුළින් එතුමාණන් රජාණන් වන බව එතුමාණන් ජීවත්ව සිටියදීම ප්‍රත්‍යක්ෂ  විය.

"එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක. "
(ලූක් 23 : 19 - 42)

සිව්වෙනුව ශුද්ධ වූ පාවුලු තුමන්ගේ ඉගැන්වීම්වලට හා ස්තේපන්තුමාගේ අවසාන කතාවට අනුව ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගෙ දකුණු පස අසුන් ගෙන ඇති බවත් එතුමාණන්  සියලු අධිපතීන්ට ඉහළින් වැජඹෙන බවත් සියලු දෙනා එතුමාණන් අබිමුව නමස්කාර කල යුතු බවත් උගන්වයි පාවුලුතුමාගෙ ඉගැන්වීම් ශුද්ධාත්මයාණන් වහන්සේම එතුමන්ට නිසා ඒවා අනිවාර්යයෙනම සත්‍යවේ එබැවින් ඒව පිලිබඳව සැක කල නොහැකිය.

"දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නම්, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය. එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක. දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක. සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ."
(එපීස 1 : 20 - 23)
"මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10  එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය. "
(පිලිප්පි 2 : 8 - 11)

ක්‍රිස්තුස් වහන්සේ රජාණන් වූයේ අන් අය මත අධිකාරීත්වය පැතිරවීම තුලින් නොවන බවත් උන්වහ්න්සේ සිදු කල ජීවිත පූජාව කරණ කොට ගෙන බවත් මෙමගින් පැහැදිලි වේ
එබැවින් මෙලොව අන් සියලු රජවරුන්ටත් වඩා උන්වහන්සේ උසස් වන්නේ එබැවින්මය.

අවසාන වශයෙන් එළිදරව්ව නම් වූ ලෝකයේ අනාගත ගැන ලිය වී ඇති කෘතියේද ක්‍රිස්තුස් වහන්සේ රජාණන් බවත් සියල්ල අවසානයේ උන්වහන්සේගේ රාජ්‍ය ජය ගන්නා බවත් උන්වහන්සේ සදහටම රජකම් කරන බවත් සඳහන් වේ.

"ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ:
“සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය.
ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය. "
(එළිදරව්ව 15: 3)
"උන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කලවයෙහි ද “රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ."
(එළිදරව්ව 19 : 16)

මේ සියල්ල සලකා බැලූ කල ශුද්ධ වූ බයිබලයේ කර්තෲ දෙවියන් වහන්සේම බැවින්
එහි අසත්‍ය සඳහන් වී නොහැකිය එමෙන්ම විවිධ කාලවල ලියවුන මේ සියලු සාක්ෂි එකිනෙකට එකක් ගැලපෙන බැවින්ද අතීතයේ අද මෙන් සියලු පොත් සොයා ගත නොහැකි වූ බැවින්ද මේ තුල අනිවාර්යයෙන් සත්‍යය අඩංගු වී ඇත සැබවින්ම මතු දිනක ක්‍රිස්තු රජාණන් මුලු විශ්වයේම තම රාජ්‍ය පිහිටුවනු ඇත උන්වහන්සේ අදහාගන්නා අයට පමණක් එහි සදාතන ජීවිතය ලැබෙනු ඇත දිනක සදාතන ජීවිතය ලබන්නට ඔබ සැමට හැකිවේවායි පතමින් මේ ලිපිය අවසන් කරමි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ  සැබවින්ම  සියල්ලේම රජාණන් වන සේක උන්වහන්සේට රාජ්‍යද බලයද මහිමයද සදහටම අත් වේවා
ක්‍රිස්තු රජාණන්ට ජය වේවා

මේ ලිපිය ලිවීමට මා හට පිහිට වූ ශුද්ධාත්මයාණන් වහන්සේට ස්තෝත්‍ර වේවා

මා වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඔබෙන්
බැගෑපත්ව ඉල්ලා සිටිමි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙ වරප්‍රසාදයත් කරුණාවත් සදහට ඔබ සමඟ වෙවා
ජේසු පිහිටයි!

සටහන ~ නිපුල් සුලක්ශන