කතෝලික ජනවන්දනාව සහ මූලධර්මවාදය

කතෝලික ජනවන්දනාව සහ මූලධර්මවාදය
Photo by Josh Applegate / Unsplash

〽️කතෝලික සභාව විසින් පිළිගත් මෙන්ම සභාව මගින් නිල වශයෙන් ස්ථාපිත කරන ලද ජනවන්දනාව අද ඊයේ බිහිවූවාක් නොව දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන දෙයකි. එසේම කතෝලික ජනවන්දනාවේ පොදු ලක්ෂණ හැම සංස්කෘතියක්ම අභිබවා යන්නකි. ඒ අනුව මෙම කතෝලික ජනවන්දනා සංස්කෘතිය ලොව පුරා විහිදී ඇති දෙයකි. කතෝලික ජනවන්දනා පිළිවෙත්වලට පටහැනි වන හෝ විරුද්ධව බයිබල්වාදීන් විසින් විවිධ වූ ඉගැන්වීම් වර්තමානයේ සිදු කරමින් සිටිති.

💠ජනතාව ආකර්ෂණය කරගැනීම පිණිස

〽️කතෝලික ජනවන්දනාව හෙළා දකිමින් අගක් මුලක් නොතේරෙන විවිධ ජනවන්දනා ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික හෝ අර්ථ විරහිත ක්‍රමෝපායන් යොදාගනිමින් මිනිසා මෝහනය කරගැනීමට මොවුන් ඉමහත් උත්සාහයක් දරති. මෙහිදී දේව වන්දනාවට වඩා සිද්ධ වන්නේ මිනිස් වන්දනාවයි. විශේෂයෙන් තමන් දිවැසිවරු ලෙස පවසමින් විවිධ ඉන්ද්‍රජාල පෙන්වමින් සිදු කරන වන්දනාව විගඩමක් මිස ජනවන්දනාක් නොවේ.

💠මැජික් වන්දනාව

〽️අයෙකු දේව බලයෙන් කොර පුද්ගලයකු ඇවිද්දවයි. නමුත් එම කොර පුද්ගලයා පෙර සූදානම් කළ කෙනෙකු යැයි සෙස්සෝ නොදනිති. තවකෙකු බැංකු ගිණුම්වලට දේව බලයෙන් මුදල් දමති. තවත් ඉන්ද්‍රජාල⁣යකු දෙවියන්ගේ බලයෙන් ජංගම දුරකථනවලට මුදල් දමති.

〽️මේවා තුළින් ජනතාව නොමගයාමට හැකි බව මෙම ඉන්ද්‍රජාලිකයෝ දනිති. එබැවින් ඔවුන්ගේ ජනවන්දනාවට දෙවියන් සහ මිනිසුන් අතර පවත්වන සංවාදයකට වඩා දෙවියන්ගේ නම පෙරට යොදාගෙන මිනිසුන් විසින් සිදු කරගෙන යන ව්‍යාපාරයකි.

〽️මේවා වෙත යොමුවෙන පුද්ගලයින් නැවත අප සභාව වෙත හැරී එන්නේ තමාගේ මුදල් පසුම්බිය හිස් වූ බව දැනගත් පසුවය.

” ඔවුහු මාගේ ආත්මයන් දුරු කරති. අමුතු භාෂාවලින් කතා කරති. රෝගීන්ට අත තැබූ විට ඔවුහු සුවය ලබති.” – මාක් 16:17 –

අවස්ථාවාදී ලෙස මෙම බයිබලීය වදන් භාවිතා කරමින් රෝගීන් සුවකරන්නන් දුෂ්ට ආත්මයන් දුරු කරන්නෝ වැහිවැහැලාය. (යකුන් , ප්‍රේතයින් , භූතාත්ම) මේ අවස්ථාවාදීන්ගේ නිර්ණායකය කුමක් ද ?

💠2 කොරින්ති 11 : 14

〽️සාතන් පවා ආලෝකයේ දූතයකු ලෙස වෙස්වලා ගනියි. මෙහිදී සැලකිය යුතු ප්‍රධාන පැතිකඩයන් දෙකක් ඇත.

〽️ප්‍රධාන ලෙස : දුෂ්ටාත්මයන් ඇතුල් වූ සහ ආවේශවූවන් ලෙස ඔවුන් වෙත යන්නේ එකම කණ්ඩායමකි. එවැන්නන් වනාහි පන්සලේ ද , පල්ලියේ ද , යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන තැන්වලද සැරිසරන එකම ගණයේ මානසික රෝගීන්ය. ඔවුන්ගේ ලක්ෂණය වන්නේ එක තැනක නොරැදීමයි.

〽️දෙවනුව : පෙර කී කණ්ඩායම් එවැනි අය සුව කරන පුද්ගලයින්ය. එවැනි පුද්ගලයින් ඉහත සදහන් කළ කණ්ඩායම් සමගින් එකී තත්ත්වයන්ගෙන් උපරිම පල නොලා ගනිති. මොවුන් තුළ පවතින විකෘති ආකල්ප සහ මානසික අසමබරතාවයන් වලින් ප්‍රයෝජන ගෙන වීරයන් ලෙස ක්‍රියා කරන මෙවැනි දිවැසිවරයන්ට ඉනිමං තබන්නන්ද බොහෝ සිටිති.

💠පාස්ටර්ලට ඇති බලය කුමක් ද ?

〽️මෙකී පාස්ටර්ලා එනම් දේවගැතිවරුන් සැබවින්ම රෝගීන් සුව කරන්නන්ද ? ඔවුනට එවන් විශේෂ බලයක් තිබේද ? මේවා බොහෝ අය අසන ප්‍රශ්නය. නවතම සමීක්ෂණ මගින් හෙළි වී ඇත්තේ , මෙවන් පුද්ගලයන් කලින් සූදානම් කරගෙන සිටි ලෙඩුන් සහ ඔවුන් පෙර පුහුණු කරන ලද විවිධ වූ කණ්ඩායම් උපයෝගී කරගෙන මෙම කාර්යයන් සිදුකරගන්නා බවයි. මෙවන් බලයක් තිබේ නම් එම පාස්ටර්ලා රෝගී වූ විට රෝහල් ගත වන්නේ මන්ද ? මෑතකදී කොවිඩ් 19 රෝගය වැළදුණු එවන් දිවැසිවරයෙකු පිළිබදව ඔබ අසන්නට ඇති.අවසානයේ ඔහු ලැජ්ජාව වසාගන්නට පැවසුවේ දේවදූතයකු පැමිණ ඔහුව සුව කළ බවයි. නමුත් ඔහු නගරයේ සුපිරි රෝහලක ප්‍රතිකාර ලැබූ බව හැම දෙනාම දන්නා සත්‍යයකි.

〽️කතෝලික ජනවන්දනාවෙන්ම පෝෂණය වී එහි යම් යම් කොටස් උකහා ගෙන ඉන් පල ලබා එයටම ගරහමින් එය යොදාගෙන ඔවුහු කන්නෝද , බොන්නෝද , යැපෙන්නෝද වෙති. එසේ ඔවුන් සිදු කරන්නේ කිසිම ලැජ්ජාවක් නොමැතිවය. එසේම ජපමාලය , කතෝලික යාච්ඤා , යාච්ඤා පොත්පත් , සමහර කතෝලික ගීතිකා පමණක් නොව කතෝලික පූජකතුමන්ලා භාවිතා කරන සමහර පලදනාද ඔවුන් අනවසරයෙන් භාවිතා කරන්නේ සදාචාරාත්මක නීතිද අමතක කර දමමිනි. ඉන් සමහරු සිය අධ්‍යාපනය ලැබීම සිදු කරගන්නේ කතෝලික පාසල් තුළිනි. එසේම ඉහත මත දරමින් තම දරුමල්ලන් ද කතෝලික පාසල් වෙත විනයානුකූල අධ්‍යාපනයක් ලබාගැනීම සදහා යොමුකරවන්නේ අභාග්‍ය සම්පන්න ලෙසය.

〽️මෙවන් පුද්ගලයන් කතෝලිකයාට ගරහන්නේද කිසිම ලැජ්ජාවකින් තොරවය. එබැවින් කතෝලික සභාවට අයත් දේ සොරාගෙන එයින් පෝෂණය වෙමින් එයටම ගරහමින් ජනතාව නොමග යැවීම සිදු කරන්නේ කවුදැයි ඔබ විනිශ්චය කරගන්න.

සටහන :- ගරු. කෙනඩි පෙරේරා පියතුමා
උපුටාගැනීම :- ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත

ස්තූතියි !
ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව