සියදිවි නසාගැනීම නිසා නිරයට හෙලනු ලබනවද?

සියදිවි නසාගැනීම නිසා නිරයට හෙලනු ලබනවද?

කතෝලිකයෝ හුඟදෙනෙක් වගේම කතෝලික නොවන හුඟ දෙනෙක් අහනවා සියදිවි නසාගැනීම නිසා නිරයට හෙලනු ලබනවද කියලා. මේක ඇත්තක්ද? අපි සොයා බලමු.

සියදිවි නසාගැනීම අනිවාර්යයෙන්ම මරණීය පාපයක්. ඒ පිළිබඳව සභා ස්ථාවරයේ කිසිම වෙනසක් නැත. නමුත්, සියදිවි නසාගන්නා පුද්ගලයන් හැමදෙනාටම ගැලවීම අහිමි වෙනවාද?

මේ පිළිබඳව සභාවේ ඉගැන්වීම වෙන්නේ මෙය සිදුකරගන්නා තැනැත්තෙක් මරණීය පාපයක් සිදු කරන බවත්, එලෙස කරගන්නා තැනැත්තා මරණයට පෙර තමන් ගත් තීරණය ගැන පසුතැවෙන්නේ නැත්තං ඔහු හෝ ඇය නිරයට යන බවත් ය.

මරණීය පාපය කොටස් තුනකින් යුක්තයි (මහෝපදේශය 216) :

  1. වරද පිළිබඳ සම්පූර්ණ දැනුවත්බව.
  2. වරද කිරීමට ඇති සම්පූර්ණ කැමැත්ත.
  3. බරපතළ දෙයක් සම්බන්ධයෙන් දේව පණතක් කඩ වීම.

මේ කොටස් තුනෙන් එකක් හෝ මඟ හැරී ඇත්නම් එම පාපය මරණීය පාපයක් නොවේ. නියත වශයෙන්ම සියදිවි නසාගැනීම මඟින් දේව පණතක් කඩ කෙරේ.  බොහෝවිට තමන් ජීවිතය නසා ගන්නා පුද්ගලයන්, දැඩි ලෙස මානසික ආතතියකින්/පීඩනයකින් හෝ දරුණු රෝගාබාධයකින් පෙලෙන බැවින් එමඟින් ඔවුන්ගේ වරද පිළිබඳ සම්පූර්ණ දැනුවත්භාවය මඟ හැරී යා හැකි නිසා ඔවුන්ගේ එම ක්‍රියා ශෝකජනක වන නමුත් මරණීය පාපයක් නොවේ.

සියදිවි නසාගැනීම නිසා මරණීය පාපයකට හසුවන්නේ,  පාපයේ බරපතලකම පිළිබඳ පූර්ණ දැනුමක් ඇතිව, නිදහසේ, සිය කැමැත්තෙන්, සියදිවි නසා ගැනීමට තෝරා ගන්නා අයෙකු පමණි. එසේ වුවද, සිහිසුන්භාවය සහ අවසාන මරණය අතර මොහොතේදී අදාල පුද්ගලයාට පසුතැවිලි වීමට අවසන් අවස්ථාවක් දෙවියන් වහන්සේ විසින් ලබා දිය හැකිය. මෙම අවස්ථාව අදාල පුද්ගලයාට හැර වෙනත් පුද්ගලයෙකුට දර්ශනය නොවිය හැකිය.

තමන් ජීවිතය නැති කරගත් අය ගැන ශුද්ධවු සභා මතය මෙයයි;

"තම දිවි තොර කරගත් පුද්ගලයන්ගේ සදාකාලික ගැලවීම ගැන බලාපොරොත්තුව අප විසින් සුන් නොකළ යුතුය. අදාල පුද්ගලයා පමණක් දන්නා මාර්ගයකින්, දෙවියන් වහන්සේ ඔහුට සුභවාදීව පසුතැවිලි වීමට ඉඩ දෙනු ඇත. සභාව විසින් සියදිවි නැති කරගත් අය වෙනුවෙන් යාච්ඤා කරනු ලබයි." (කතෝලික සභා ධර්මෝපදේශය 2283)

ඉතින් කතෝලික සභාව  සියදිවි නසාගත්තවුන් අත හරින්නේ නැත. අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරමු!

~ නිමේෂ් පීටර්, මහෝපදේශය වෙනුවෙන්.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව