කතෝලික දස පණතේ දේව ධාර්මික විශිෂ්ඨත්වය

කතෝලික දස පණතේ දේව ධාර්මික විශිෂ්ඨත්වය
Photo by Sharon McCutcheon / Unsplash

🌚 නූතන කතෝලික දේවර්මයේ එක් පසෙකින් ඇති කණුවක් වන්නේ ශුද්ධවූ තෝමස් ඇක්වයිනාස් මුනිතුමා නම්,එහි අනෙක් පස ඇති කණුව වන්නේ ශුද්ධවූ අගොස්තීනූ මුනිතුමාය.වර්තමාන කතෝලික සභාවේ දස පණත අංකනය කළේද ශුද්ධවූ අගොස්තීනූ නම්වූ,ඒ මහා දේව ධර්මවේදියාය;සභා පියවරයාය.ලතරානු සභාවේ පාපොච්චාරණය සඳහාද උපයෝගී කරගනු ලබන්නේද මෙම ක්‍රමයමයි. එහෙත් ග්‍රීක පියවරුන් විසින් මීට වෙනස් බෙදීමක් සුළු වශයෙන් යොදාගත් අතර,එම වෙනස්වීම ඕතඩොක්ස් සභාවේද,ප්‍රතිසංස්කරණ වූ සංඝ වලද,අද වනවිට සොයාගත හැකිය (ක.ස.ධ.2066).

🌚 ඉහත පරිදි දස පණතේ අංකනය කිරීම මහා දේව ධර්මවේදීන් මත රඳා පවතින්නේ ඇයි? ඒ මේ නිසාය. "දස පණත" යන වචනයේ සාහිත්‍යමය අරුත වන්නේ "වචන දසය" යන්නයි (උදා:- නික්මයාම 34:28,ද්.නී.ස.04:13 හා 10:04).නමුත් එහිදී "මව්පියන්ට සංග්‍රහ කිරීම" සහ "සබත් දින ශුද්ධවන්ත ලෙස ගතකිරීම" වැනි ධනාත්මක නියෝග (කළ යුතු දේවල්) සමඟ සෘණාත්මක නියෝග (නොකළ යුතු දේවල්), අප විසින් වගන්ති ලෙස ගණනය කිරීමට ගියහොත්,එමඟින් නියෝග 13 ක් පමණ සෑදේ.ජුදෙව්වරු අතීතයේදී දෙවියන් වහන්සේගේ පණත් ගණනය කළේද එලෙස වගන්ති ගණන් කිරීම මඟිනි.එහෙත් එය,දස පණතේ සාහිත්‍යමය අර්ථයට පටහැනිය.එබැවින් සැබෑම වූ නියෝග දසය හදුනාගත හැක්කේ මහා දේව ධර්මවේදීන්ගේ දැනුම මතය.මක්නිසාදයත්,ඉහත පරිදි,ඇත්තේ පණත් දසයක් බවට ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වුවද,ශුද්ධවූ ලියවිල්ල ලියූ දේවානුභාවය ලැබූ උපකාරක කර්තෘවරුන් විසින්ද කිසිදු විටක දස පණත අංකනය කර නොමැති බැවින්,ඒ වගකීම ක්‍රිස්තියානියේ මහා දේව ධර්මවේදීන් පිට පැටවී තිබේ.දස පණත නිවැරදි ලෙස අංකනය කිරීම මඟින්,එදා ශුද්ධවූ අගොස්තීනූ මුනිදුන් ඉටුකළේද එම භාරදූර වගකීමය (ක.ස.ධ.2056 හා 2057).

🌚 කෙසේවෙතත්,මහා දේව ධර්මවේදී ශුද්ධවූ අගොස්තීනූ මුනිදුන් විසින් අංකනය කළ කතෝලික දස පණතේ;පළමුවන,නවවන හා දසවන පණත් සම්බන්ධයෙන්,තමන්ගේ අනාවබෝධය නිසා බොහෝ දෙනාට විවිධ ගැටලු ඇතිවී තිබේ.එම ගැටලු පියවරෙන් පියවර නිරාකරණය කිරීම මෙම ලිපියේ අරමුණය.මෙතැන් සිට අප යොමු වන්නේ එම කාර්යයටය.

---------->> උපුටා ගැනීම 01;

[ " මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය. " - (නික්මයාම 20:03)

" නුඹ සඳහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත්, පහළ පොළොවෙහිවත්,පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. " - (නික්මයාම 20:04)

" නුඹ ඒවාට නමස්කාර නොකරන්න;ඒවාට නොවඳින්න.මන්ද,නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි.මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන,සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඩුවම් කරමි. " - (නික්මයාම 20:05)

" එහෙත්,මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි. " -(නික්මයාම 29:06) ]

<<---------- උපුටා ගැනීම 01 අවසන්.

🌚 ඉහත දැක්වෙන්නේ," මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය" (නික්මයාම 20:03) යන්නාවූ කතෝලික දස පණතේ,පළමුවන පණත සඳහා වෙන්කර ඇති කොටසයි.එහිදී නික්මයාම 20 පරිච්ඡේදයේ 04,05 සහ 06 වගන්ති වලින් නික්මයාම 20:03 වගන්තියේ ඇති පළමු පණත වැඩිදුරටත් විස්තර කර ඇත.එහෙත් ඇතැම් මූලධර්මවාදීන් පවසන ආකාරයට නික්මයාම 20:04 වගන්තිය දෙවැනි පනත ලෙස අපට සැළකිය නොහැකිය. මක්නිසාදයත් නික්මයාම 20:04 ට අනුව දෙවියන් වහන්සේ විසින් කිසිදු වස්තුවකට සමාන රූපයක් සාදා නොගන්න ලෙසට අණ කර ඇත.එහෙත් එම නියෝගය ලබා දීමෙන් අනතුරුව දෙවියන් වහන්සේ විසින්ම නැවත නැවතත් ඊශ්‍රායෙල් ජනතාවට කැපූ රූප,වාත්තු කළ රූප වැනි කිසියම් වස්තුවකට සමාන රූප සෑදීමට අණ කර ඇත (උදා:- නික්මයාම 25:18-22,01 රාජාවලිය 06:23-28,01 රාජාවලිය 09:03-06,01 රාජාවලිය 07:23-26 ...).එබැවින් නික්මයාම 20:04 වගන්තිය තනි පණතක් ලෙස සැළකුවහොත්, දෙවියන් වහන්සේ විසින්ම ඊශ්‍රායෙල් ජනතාවට පරස්පර විරෝධී නියෝග ලබාදී ඇති බැවින්,දෙවියන් වහන්සේ වනාහි අවිශ්වාසවන්ත කටයුතු අයෙකුගේ තත්වයකට ඇඳ වැටුනු ඇත. එහෙත් දෙවියන් වහන්සේ වනාහි මහා විශ්වාසකයාණෝ බැවින් කතෝලික සභාවට නික්මයාම 20:04 තනි පනතක් ලෙසට ගණනය කළ නොහැකිය.

🌚 එසේ නම් දෙවියන් වහන්සේ පළමු පණතේදී කිසිදු රූපයක් සාදා නොගන්නට උපදෙස් ලබා දුන්නේ ඇයි? සැබවින්ම දෙවියන් වහන්සේ ඉන් අදහස් කළේ ප්‍රතිවාදී දෙවිවරුන්ගේ රූප සාදා නොගන්නා ලෙසටයි. නික්මයාම 20:05 හි ඇති,"මන්ද,නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි" යන ප්‍රකාශයෙන් එම අදහස වඩාත් තීව්‍රර වේ.එවිට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රතිවාදියෙක්ද? මරියතුමිය දෙවියන් වහන්සේගේ ප්‍රතිවාදියෙක්ද? ශුද්ධවන්තයන් දෙවියන් වහන්සේගේ ප්‍රතිවාදීන්ද? නැහැ නේද.එලෙසම ශුද්ධවූ බයිබලයේද රූප වන්දනාව පිළිකුල් කරන සෑම විටකම "ඔවුන්ගේ දෙවිවරු" ලෙසට සදහන් කර තිබීමෙන් සනාථ වන්නේද දෙවියන් වහන්සේ නික්මයාම 20:04 වගන්තියෙන් අදහස් කළේ ප්‍රතිවාදී දෙවිවරුන්ගේ රූප සහ බහු දේව වන්දනාව ප්‍රතික්ෂේප කිරීම බවයි.එනම්;

[ 01 උදා:- ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින්ය;මිනිසුන්ගේ දෑතේ වැඩය.-ගීතාවලිය 115:04 ]

[ 02 උදා:- පිළිම සාදන සියල්ලෝ චපලයෝය.ඔවුන් උසස් කොට සළකන දෙවිවරු වැදගැම්මකට නැත.ඒ දෙවිවරු නමදින සියල්ලෝ අන්ධය,අඥානය.ඔවූහූ නින්දාවට පැමිණෙන්නෝය.-යොසායා 44:09 ]

[ 03 උදා:- අහසත්,පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින්ද අහස යටින්ද විනාශ කරනු ලබතියි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතුය.-ජෙරමියා 10:11 ]

🌚 ඔගරින් තුමාට අනුව ශුද්ධවූ බයිබලය තුළ රූප වන්දනාකරු යනුවෙන් හදුන්වනු ලබන්නේ,"දෙවියන් පිළිබඳව තමන් තුළ ඇති විනාශ කළ නොහැකි නිත්‍යවූ හැඟීම වෙනත් ඕනෑම දෙයකට පවරා දෙන තැනැත්තාටය (සලමොන්ගේ ප්‍රඥාව 13:06).එවිට ප්‍රතිවාදී දෙවිවරුන්ගේ රූප සාදාගෙන,ඊට වන්දනා කිරීම මඟින් ඔවුන් පුදන්නේ මෘගයාවය.ඒ සමයෙහිදී දෙවියන් වහන්සේ වෙනුවෙන් දිවි පිදූ බොහෝ දෙනාට තම ජීවිතය පිදීමට සිදුවූවේද එම මෘගයාට නමස්කාර නොකිරීම නිසාය (ක.ස.ධ.2113 සහ 2114).එනම්;

[ මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝ වැසියන් මුළා කළේය.කඩු පහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කළේය.ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්,මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලට මරණය සලසන්නටත් ඌට බලය ලැබුනේය.-එළිදරව්ව 13:14-15 ]

🌚 එහෙත් කිතුනුවන් විසින් ප්‍රතිමා සඳහා කරනු ලබන භක්ති ආදරය,පළමු පණතින් නියම කරනු ලබන,"ප්‍රතිමා වන්දනාව තහනම්ය" යන නියෝගයට පටහැනි නැත.මක්නිසාදයත් අප භක්ති ආදරය දක්වන්නේ ඉහත පරිදි දෙවියන් වහන්සේගේ ප්‍රතිවාදීන්ගේ ප්‍රතිමා වලට නොවන බැවින්,ඒ මඟින් මෘගයාට කිසිදු නමස්කාරයක් ලබා ගැනීමට නොහැකි වන බැවිනි.ඇත්ත වශයෙන්ම "ප්‍රතිමාවකට දෙනු ලබන ගෞරවය,ඒවායේ මූලාදර්ශය දක්වා දිව යන්නේය".එසේම "කවරෙකු හෝ ප්‍රතිමාවකට භක්ති ආදරය දක්වන්නේද,එම ප්‍රතිමාවෙන් දැක්වෙන පුද්ගලයාට හෙතෙම ගෞරවය දක්වන්නේය".එවිට ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට ගෞරව කරන්නේ, ජේසුස් වහන්සේට ඇති ගෞරවය නිසා නම්,එයින් මෘගයාට නමස්කාරයක් හිමි වන්නේ කෙසේද? ශුද්ධවූ ප්‍රතිමාවන් සඳහා ලබන ගරුත්වය "ගෞරවාචාර භක්ති ආදරයක්" මිස දෙවියන් වහන්සේට පමණක් ලබාදෙන වන්දනා නමස්කාරයට යොමු වීමක් නොවේ (ක.ස.ධ.2132).මේ බව සභා පියවරයෙකු මෙන්ම මහා දේවධර්ම ආචාර්යවරයෙකු වූ ශුද්ධවූ තෝමස් ඇක්වයිනාස් මුනිතුමා විසින්ද පවසා ඇත.එනම්;

[ ආගමික වන්දනාව ප්‍රතිමා තුළ කෙරෙන වන්දනාව වෙත යොමු නොකරයි.ඒවා ගැන සළකා බැලූ විට, ඒවායේ ඇති උසස් දැක්ම ඔස්සේ,මෙම ප්‍රතිමා වන්දනාව මඟින් දක්වන්නේ,මාංශගතවූ දෙවිදාණන් වෙතය.ප්‍රතිමාවන් වෙත දක්වනු ලබන මෙම භක්ති ආදර වන්දනා ගමන,ප්‍රතිමාවක් තුළ අවසන් නොවන අතර,ප්‍රතිමාව තුළ හඟවනු ලබන පුද්ගලයා කවුරුන්ද යන අදහස වෙත නැඹුරු කරන්නේය-ශුද්ධවූ තෝමස් ඇක්වයිනාස් මුනිතුමා,STh 02-02,81,3 ad 3. ]

🌚 තවද පුරාණ ගිවිසුම තුළදී දෙවියන් වහන්සේ ප්‍රතිවාදී දෙවිවරුන්ගේ රූප සෑදීම සහ බහු දේව වන්දනාව තහනම් කළත්,මාංශගතවූ දේව වචනය (ජේසුස් වහන්සේ) මඟින් ගෙන එන ගැළවීම සංකේතවත් කරන රූප සාදන්නට හා ඒවා හරහා දෙවියන් වහන්සේගේ සුවය හා බලය අත්දකින්නට දෙවියන් වහන්සේ විසින්ම නියෝග කළ සේක. පිත්තල සර්පයා,ගිවිසුම් දාගැබ හා කෙරුබ්වරුන් වනාහී එම සංකේතයන්ය (ක.ස.ධ.2130).පුරාණ ගිවිසුම සම්පූර්ණත්වයට පත් වන්නේ නව ගිවිසුමෙන්ය (උදා:- දෙවියන් වහන්සේ විසින් පුරාණ ගිවිසුමේදී පොරොන්දු වූ ගැලවුම්කරු වන ජේසුස් වහන්සේව ලබා දුන්නේ නව ගිවිසුමේදීය). එලෙසම ජේසුස් වහන්සේද මාංෂ ගතවී අප අතරට පැමිණියේ ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය සම්පූර්ණ කිරීමටය (ශුද්ධවූ මතෙව් 05:17-20).එබැවින් පුරාණ ගිවිසුමේදී මාංශ ගතවූ වචනයාණන් වන ජේසුස් වහන්සේ මඟින් ලබාදෙන ගැළවීම සංකේතවත් කිරීමට යොදා ගන්නා ලද පිත්තල සර්පයා,කෙරුබ්වරුන් හා ගිවිසුම් දාගැබ වෙනුවට,පිත්තල සර්පයා දෙස බලා සුවය ලබා ගත්තා සේ,නව ගිවිසුම තුළදී මාංශ ගතවූ වචනයාණන්ගේ නොහොත් ජේසුස් වහන්සේගේම ප්‍රතිමා වලට වන්දනා කිරීමට හා ඒවා මඟින් සුවය ලබා ගැනීමටද අපට හැකිවීම මඟින් ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය සම්පූර්ණත්වයට පත්වී ඇත.එනම්;

[ 01 උදා:- සමිදාණන් වහන්සේ මෝසස්ට කතා කොට,"ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න.දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද,ඔහු එය දෙස බැලුවහොත්,සුව වනු ඇතැ"යි වදාළ සේක.එවිට මෝසස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබීය.සර්පයෙක් යමෙකු දෂ්ට කළේද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.-ගණන් කතාව 21:08-09 ]

[ 02 උදා:- ඔවුන් දුකට පත් වූයේ කලකට පමණක් තිබූ තරවටුවක් නිසාය.මන්ද,ඔබේ නීතිය පිළිබඳ අණ පණත් ඔවුන් සිහිගැන්වීමට ඔහුන්ට විමුක්තිදායක සංකේතයක් තිබුණි.ඒ සංකේතය දෙස හැරුණු සැම කෙනෙක්ම ගැළවීම ලැබූහ.එසේ වුයේ සංකේතය නිසා නොව පොදු ගැළවුම්කාරයාණන් වන ඔබ මඟිනි.සැම නපුරකින්ම මිදීම දෙන්නේ ඔබ බව එවැනි මාර්ග වලින් ඔබ අපේ සතුරන්ට ඔප්පු කළ සේක.තවද, පළඟැටියන්ගේ සහ මැස්සන්ගේ දශ්ට කිරීම් විනාශදායක වූ බැවින් ද එවැනි සතුන් ලවා ඔහුන්ට දඬුවම් කිරීම සුදුසු විය.එහෙත්, විෂඝෝර සර්පයින්ගේ දෂ්ට කිරීමෙන් පවා ඔබේ පුත්‍රයෝ විනාශ නොවූහ.ඔබේ දයාවෙන් ඔබ ඔහුන්ට සහය වී ඔවුන් සුව කළ සේක.-සලමොන්ගේ ප්‍රඥාව 16:06-10 ]

🌚 එලෙසම ජේසුස් වහන්සේගේ විසින් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සාන්තුවරයන්ගේ සංකේතයන් (ප්‍රතිමා,රූප ආදිය) ඔසවා කේරූබ්වරුන්ගේ රූප සවිකර ඇති ගිවිසුම් කරඬුවට ගෞරවාදරය කළා මෙන් ඒවාටද ගෞරවාදරය කිරීමටත්, පිත්තල සර්පයා දෙස බලා සුවය ලැබුවා මෙන්, දෙවියන් වහන්සේගේ බලයෙන් ඒවායින්ද සුවය ලැබීමටත්,ඒවාට ගෞරව කිරීමටත් හැකි බව ශුද්ධවූ සුවිශේෂක ජොහාන් තුමා විසින් සනාථ කර ඇත.එනම්;

[ ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍යය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. පාලුකරයේදී මෝසස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍යය-පුත්‍රයාණන්ද, උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය.-ශුද්ධවූ ජොහාන් 03:13-15 ]

🌚 එබැවින් මාංශ ගතවූ වාක්‍යයාණන්ගේ අභිරහස පාදක කරගෙන නිසියේදී (ක්‍රි.ව.787) පවත්වනු ලැබූ 07 වන ජගත් මන්ත්‍රණ සභාව,ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවට ඇති භක්තියද,එසේම දේව මාතාවන්ගේද දේව දූතයන්ගේ හා ශුද්ධවරයන්ගේ ප්‍රතිමාද කඩා බිඳ දමන්නන්ව එම වරදින් නිදොස් කිරීමට විරුද්ධ විය. මක්නිසාදයත් මොලොව මාංශ ගතවෙමින් දේව පුත්‍රයාණෝ ප්‍රතිමා භක්තිය සඳහා නව "අරුතක්" දුන් සේක (ක.ස.ධ.2131).එබැවින් පුරාණ ගිවිසුමේ නිශ්ඵල දෙයක් වූ රූප වන්දනාව,නව ගිවිසුම තුළදී අර්ථවත් දෙයක් බවට පත්ව ඇත.

---------->> උපුටා ගැනීම 02;

[ "නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇලුම් නොකරව.තවද,නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටලුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇලුම් නොකරව"-නික්මයාම 20:17 ]

<<---------- උපුටා ගැනීම 02 අවසන්.

🌚 ඉහතින් දැක්වෙන්නේ කතෝලික දස පණතේ නවනව සහ දසවන පණත් වන,"පරදාර ආලය නොකරව" සහ "අන් වස්තූන්ට ආශා නොකරව" යන පණත් දෙක සඳහා වෙන්කර ඇති කොටසය.එහෙත් ඇතැම් මූලධර්මවාදීන් පවසන විදිහට මෙම මුලු කොටසම එක් පනතක් ලෙස අපට නම් සැළකිය නොහැකිය. මක්නිසාදයත් පරදාර ආලය සහ අන් වස්තූන්ට ආශා කිරීම සැබවින්ම එකිනෙකට වෙනස් පාපයන් දෙකක් බවට හැඟවීම සඳහා ශුද්ධවූ බයිබල් කතුවරයා "ඇලුම් කිරීම" සහ "තණ්හා කිරීම" ලෙස වෙන වෙනම හා පැහැදිලිවම වචන දෙකක් එහිදී යොදාගෙන ඇති බැවිනි.එනම්;

[ නුඹේ අසල්වැසියාගේ භාර්යාවට "ඇලුම්" නොකරන්න.නුඹේ අසල්වැසියාගේ ගෘහයට හෝ ඔහුගේ කෙතට හෝ ඔහුගේ සේවක සේවිකාවන්ට හෝ ඔහුගේ ගවයාට හෝ කොටලුවාට හෝ අසල්වැසියා සතු කිසිවකට හෝ "තණ්හා" නොකරන්න.-ද්විතීය නීති සංග්‍රහය 05:21 ]

🌚 එලෙසම කාමතෘණ්ණාව,අහංකාරය සහ කාමරාගය ලෙසින් "ලෝකානුරාගය" පිළිබඳව සුවිශේෂක ශුද්ධවූ ජොහාන් තුමා විසින් තෙවැදෑරුම් විග්‍රහයක යෙදී ඇත (01 ජොහාන් 02:15-17). අහංකාරය පිළිඹිබු වන්නේ ජීවිතයෙන්ය.එලෙසම නෙත් වලින් කාමතෘෂ්ණාව නික්මෙයි (මතෙව් 05:28).කාමරාගය නොහොත් කාමාග්නිය නික්මෙන්නේ මාංශයෙන්ය (ගලාති 05:24).එබැවින් පරදාර ආලය නොකිරීම මඟින් දෙවියන් වහන්සේ අපට මෝහය හා රාගික කාමමිථ්‍යාචාරය  හා සම්බන්ධ දේවල් ගැනත්,අන් වස්තූන්ට ආශා නොකිරීම මඟින් අන් වස්තූන්ට ඇති තණ්හාව, තෘෂ්ණාව සහ ඒ දේවල් අයිති කරගැනීම සඳහා යොදවන අයුතු බලපෑම් පිළිබඳවත්,වෙන වෙනමම අවවාද කිරීම සඳහා,වෙන වෙනමම පෙනී සිටින පණත් දෙකක් වශයෙන් ඒවා ලබාදී ඇත.

🌚 ගැහැණිය, පුරුෂයාට යටත් විය යුතු බවට බයිබල් උප කර්තෘවරයා උප්පත්ති පොතෙහි සඳහන් කර ඇත්තේ,එකළ තිබූ පුරුෂාධිපත්‍ය නිසාය.පාපයේ ප්‍රතිවිපාක ලෙස ඔහු එවකට සමාජයේ දක්නට ලැබුණු ස්වභාවික අසාධාරණකම් ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කර ඇත.එනමුත් ගැහැණිය යනු පුරුෂයාගේ වස්තුවක් ලෙස සැළකීමට නම්, මෙවැනි ශිෂ්ඨ සම්පන්න සමාජයක අපට නොහැකිය. මක්නිසාදයත් මැවීමේ සිට ගැහැණිය සහ පුරුෂයාගේ සමානත්වය දෙවියන් වහන්සේ විසින්ම ස්ථාපිත කර ඇති බැවිනි.එනම්;

එවිට මිනිසා කතා කොට,"දැන් ඉතින්,මාගේ ඇට වලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය,මිනිසාගෙන් ගත් හෙයින්,ඈට 'ස්ත්‍රී' කියා කියනු ඇතැ"යි පැවසීය.මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔවූහු එක් මාංසයක් වන්නෝය.-උප්පත්ති 02:23-24

(උපුටා ගැනීම Sri Lanka Catholic Foundation of California)