කාදිනල් නිලය හා බැඳෙන වගකීම්

කාදිනල් නිලය හා බැඳෙන වගකීම්

කතෝලික සභාවේ උසස්ම බලමණ්ඩලය වශයෙන් සැළකිය හැක්කේ කාදිනල් මණ්ඩලයයි. සසුනිසුරාණන් කෙනෙකු ස්වර්ගස්ථ වූ විට නව සසුනිසුරාණන් කෙනෙකුන් තෝරා පත් කර ගත හැක්කේ එම බල මණ්ඩලයට පමණක් නිසාය. ඒ මේ මෑත කාලයේ 16 වන බෙනඩික්ට් පාප්වහන්සේ විශ්‍රාම යෑමෙන් පසුව හිස් වු පාප් අසුනට නව පාප්තුමෙකු පත් කර ගැනිමට ලොවේ නන් දෙස සිටින කාදිනල්වරු හනික රෝමයට එකතු වූහ. එකතුවී සසුනිසුරාණන් කෙනෙකුන් තෝරා තෝරාගත්හ.  ඒ වත්මන් පළමුවන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණන් ය. අද තරම් ගමන් පහසුකම් නොතිබුණු අවධිවල කාදිනල් පදවි ඉතාලි ජාතිකයනට හා ඒ නුදුරු රටවල වැසියන්ට පමණක් සීමා විය. එහෙත් විසිවන ශතවර්ෂයේ සිට ඒ පිළිවෙළ වෙනස් වී සභාවේ සමස්ත බව හා සාධාරණකම සනාථ කරමින් වෙනත් රටවල වැසියන්ට ද හිමි විය.

තෝරාගත යුත්තෝ

කාදිනල් මණ්ඩලය සභාවේ උපදේශක සභාව හා උත්තර මන්ත්‍රී මණ්ඩලය වශයෙන් සැළකෙන හෙයින් එයට තෝරාගත යුත්තේ උගත්, ප්‍රඥාවත්, බැහැපත් හා ක්‍රියාශීලී පූජාප්‍රසාදීවරුන් බව සභා නීති සංග්‍රහයේ සඳහන් වේ.

16 වන ශතවර්ෂයේ පමණ සිට කාදිනල් මණ්ඩලයේ සාමාජිකයන් ගණන 70 සීමා වී තිබිණි. දොළොස්වන පියුස් සසුනිසුරාණන් සමයේ වෙනත් ජාතිකයින්ට කාදිනල් පදවි පිරිනැමුනද ගණනේ වෙනසක් නොවීය. වර්ධනයට පත් ව ඇති සභාව ඇති සභාවේ උච්චම බල මණ්ඩලය 70 කට පමණක් සීමා නොවිය යුතු යැයි කල්පනා කළේ විසිතුන්වන ජුවාම් සසුනිසුරාණෝය. එතුමා 70 ඉක්මවා යන ලෙසින් නව කාර්දිනල්වරුන් පත්කළේ කාදිනල් සමාජික සංඛ්‍යාවේ සීමාවක් ඇති නොකරමිනි. ස්වර්ගස්ථ වූ ශාන්ත දෙවන ජුවාම් පාවුළු සසුනිසුරාණන්ගේ සමයේදී සමස්ත සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැගිණි. කීප නමක් හට සසුනිසුරාණන් කෙනෙකු පත් කර ගැනීමේ දී ඡන්දය පාවිච්චි කිරීමේ වරම අහිමි වනුයේ වයස අවුරුදු 80 ඉක්මවා ඇති බැවිනි. එම නිසා ඡන්දය පාවිච්චි කළ හැකි ගණන නිරන්තරයෙන්ම 120 ම වනු ඇත.

රතු බීරෙට්ටා නමින් හඳුන්වන හිස්වැසුම් පැළඳවීම

කාදිනල් වරුන්ගේ විශේෂ ආයිත්තම රතු හිස්වැස්මකි. ඒ හිස වැස්ම පාප් වහන්සේ  විසින්ම කාදිනල් අපේක්ෂකයාට පැළඳීමෙනුයි එම පදවිය ස්ථිර කරනු ලබන්නේ. එදින නව කාදිනල්වරුන් රෝමයට එකතු වනු ඇත. යම් කාදිනල් වරයෙකුට එදින එහි යාමට බැරි වුවහොත් වෙනත් දිනක දී එහි ගොස් කාදිනල් හිස වැසුම සසුනිසුරාණන්ගෙන් ලබා ගනු ඇත.
කාදිනල් මණ්ඩලයේ සාමාජිකයකු වීමට පූජාත්වරය ඉතාමත් අවශ්‍යය. වර්තමාන රාජගුරුප්‍රසාදීවරු පූජාප්‍රසාදිවරුන් අතරින් තෝරාගත් අයය. එහෙත් කාදිනල් වරු වශයෙන් පත්කර ගන්නා සියලු දෙනාම රදගුරුවරුන් නොවෙති.

විශේෂ බලතල

කාදිනල් පදවියට සභාවේ විශේෂ සැලකිලි හා බලතල ලැබෙන බව කිව යුතුයි. කාදිනල් වරයෙකු මියගිය විට එතුමන්ට විශේෂ ගරුබුහුමන් පැවැත්වීම සභාවේ නියමයයි. කාදිනල් වරයා මියගියේ රෝමයේ නම් එතුමාගේ මෘත දේහය ගරු බුහුමන් දැක්වීම සඳහා තැබිය යුතු දෙව්මැදුර නියම කළ යුත්තේ සසුනිසුරාණන් විසිනි. රෝමයෙන් පිටත මිය ගියේ නම් මියගිය නගරයේ ප්‍රධාන දෙව්මැදුරේ එම මෘත දේහය තැන්පත් කර තැබිය යුතුයි. ආචාර දැක්වීම සඳහා තම මෘත දේහය ප්‍රදර්ශනය කළ යුතු දෙව්මැදුර හා තමා භූමිදානය කළ යුතු ස්ථානය නම් කිරීමට කාදිනල්වරයාට පුළුවන. පවුලේ සුසාන භූමිය පවා නම් කිරීමට මේ නීතිය අනුව කාදිනල්තුමෙකුට ඉඩ ලැබේ.

තනි දෙව්මැඳුරක්

කාදිනල්වරයෙකුට "පෞද්ගලික දෙව්මැදුරක්" තබා ගැනීමට පුළුවන. පෞද්ගලික දෙව්මැදුර වශයෙන් හැඟෙන්නේ තාපසාරාම ආදියේ එහි නිවාසිකයන්ගේ ප්‍රයෝජනය පිණිස ඇති දෙව්මැදුරුයි. එම සමහර දෙව්මැදුරවල ඉරුදින පූජාවට විශ්වාසකයන් ට සහභාගිවීම තහනම් ය. ඒ තහනම ඇත්තේ මීසමේ දෙව්මැදුර හා ඇති සම්බන්ධකම කැඩියන නිසාය. එහෙත් කාදිනල්වරයකුගේ පෞද්ගලික දෙව්මැදුරේ ඉරුදින පූජාවට සහභාගි වීමෙන් ඒ නීතිය කැඩෙන්නේ නැත. එයට හේතුව කාදිනල්තුමෙකුගේ දෙව්මැදුර ප්‍රසිද්ධ දේවාස්ථානයක් වශයෙන් සභාව සලකන නිසාය.

Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ