ශුද්ධෝත්තම පියතුමන්ගේ නිල ආසන දෙව්මැදුර

ශුද්ධෝත්තම පියතුමන්ගේ නිල ආසන දෙව්මැදුර

ශුද්ධෝත්තම පියතුමන්ගේ නිල ආසන දෙව්මැදුර දේවවන්දනා වසරේ සැමරුම් මංගල්‍යයන් අතුරින් නොවැම්බර් මස 09 වන දින අනිවාර්ය අනුස්මරණ මංගලෝත්සවයක් ලෙස රෝමයේ ජෝන් ලතරානු බැසිලිකාව කැපකිරීමේ මංගලෝත්සව සමරනු ලැබේ. මෙමගින් ශු. සභාවේ විශ්වියත්වද පෙන්නුම් කරන අතර අතින්ද්‍රීය ක්‍රිස්තු ශරීරයේ අවයවයන් ලෙස අපගේ ප්‍රසාද ස්නාපනිය කැදවීමට ප්‍රතිචාර දක්වන්නට මෙහිදී සභා මාතාව අප සැම කැදවන්නීය.
ශු. සභාවේ දේවස්ථාන අතුරින් අග්‍රදේවස්ථානය වන්නේ ජෝන් ලතරානු බැසිලිකාවයි.

ක්‍රි.ව. 313 දී කොන්ස්ටන්ටයින් අගරජ විසින් මිලාන් ආඥාවට රෝම රදගුරුතුමන් වූ ශුද්ධෝත්තම පියතුමන් වෙත ප්‍රධානය කරන ලද මේ බැසිලිකා දෙව්විමනේ  ශුද්ධෝත්තම පියතුමාගේ ගුරු ආසනය පිහිටා ඇත. එය ක්‍රි.ව. 324 දී අභිෂේක කරන ලද බව සදහන් වේ. කිතුනු ලෝකයේ දේවස්ථාන අතුරින් අග්‍රදේවස්ථානය වන  ජෝන් ලතරානු බැසිලිකාව ප්‍රථමයෙන් රෝම අධිරාජ්‍යයාගේ රෝමයේ පිහිටි නිල නිවස විය. මීටර් 140 ක් උසින් ද , මීටර් 140 ක් පළලින් ද, මීටර් 65 ක වටප්‍රමාණයකින් හෙබි මේ බැසිලිකා මන්දිරය " බාරෝක් " ගෘහ නිර්මාණ වලින් සමන්විත මෙය කිරිගරුඩ, කළුගල් සහ සිමෙන්ති අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර සාදා ඇති මේ සුවිශේෂී නිර්මාණය, මුලින්ම ඉදිකොට තම වාසභවනය ලෙස තෝරා ගත්තේ  ක්‍රි.ව. 193 දී සෙප්ටිමස් සෙවරිස් නම් රෝම අධිරාජ්‍යයා විසිනි. පසුව මැක්සිමිලියම් අධිරාජ්‍යයාගේ වාසභවනය ද මෙය විය.

ක්‍රි.ව. 313 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා මිලාන් ආඥාව නිකුත් කොට කිතුනුවන්ට නිදහස දී මේ බැසිලිකාව පළමු සිල්වෙස්ටර් නම් රෝම රදගුරුතුමන්ට පවරා දෙන ලදී.

මුල් කාලයේදී මේ බැසිලිකා දෙව්විමන " දෙවිදුන්ගේ නිවාසය" ලෙස හදුන්වනු ලැබූ අතර ක්‍රි.ව. 324 දී "දිව්‍ය ගැලවුම්කරුවාණන් " නමින් ප්‍රථමයෙන් කැපකළ අතර , මෙහි මංගලෝත්සවය ලෙස  සමරන්නට වුයේ සමිදාණන් වහන්සේගේ අන්‍යරූප විලාශ වීමේ මංගල්‍යයයි. ඉන් අනතුරුව දෙවතාවක් ම අවස්ථා කීපයකදී මේ බැසිලිකා දෙව්විමන කැපකළ අතර , 10 වන සියවසේදී සර්ජියස් ශුද්ධෝත්තම පියතුමා විසින් ගැලවුම්කරුවාණන්ගේ පෙරමග සුදානම් කළ ශු. ස්නාවක ජුවාම් මුනිදුන් නමින් ද , 13 වන සියවසේදී ලුසියස් ශුද්ධෝත්තම පියතුමා විසින් සුවිශේෂක ශු. ජොහාන් අපෝස්තුළුතුමා නමින් ද කැපකරන ලදී. 9 වන සියවසේදී ඛෙනදිකාන තාපසවරුන්ගේ භාරකාරත්වයට පවරනු ලැබූ මේ බැසිලිකාව 14 වන සියවස වන තෙක් රෝම රදගුරුතුමන් වූ ශුද්ධෝත්තම පියතුමන්ගේ නිල වාසස්ථානය විය.

පසුකාලීනව පවා ඇතැම් ශුද්ධෝත්තම පියතුමන් තම නිල වගකීම් ලබා ගත්තේ ද , එතුමන්ලාගේ සිරුරු මිහිදන් කිරීමට ද ආශා කරන ලද්දේ මේ බැසිලිකාව තුළ වීම විශේෂත්වයකි. මෙහි ඇති සුවිශේෂී ස්ථාන අතර ශුද්ධෝත්තම පියතුමාගේ "ගුරු ආසනය" හෙවත් "නිල ආසනය" පිහිටා ඇත්තේ මේ බැසිලිකා දෙව්විමන තුළ වන අතර , රෝම රදගුරුතුමන් සහ විශ්ව සභාවේ නායකයාණන් ලෙස ශුද්ධෝත්තම පියතුමා සමස්ථ සභාවටම තම අවවාද අනුශාසනා හා නීති නියෝග නිකුත් කරනු ලබන ප්‍රධාන ස්ථානය ද මේ ගුරු ආසනය වේ. ශු. සභා සම්ප්‍රදාය තුළ මෙලෙස  ආසනයක් මත සිට සිදුකරනු ලබන ප්‍රකාශන ඉතා ප්‍රබල මෙන්ම බලසම්පන්නය.

කිරිගරුඩ ප්‍රතිමාවන්ගෙන් සහ අලංකෘත රංජත කවුළු වලින් ද රෝමානු , කොරෙන්තියන් සහ ග්‍රීක ගෘහ නිර්මාණයන්ගේ අපුර්ත්වය මුළු ලොවට ප්‍රකාශ කරන මේ  බැසිලිකා මන්දිරය දක්නට ඇති තවත් සුවිශේෂී දායාදයක් ලෙස ශු. පියගැට පෙළ නම් කළ හැකිය. මෙයින් නම් කරනු ලබන්නේ ක්‍රි.ව. 326 හෙලේනා අගරැජින විසින් ජෙරුසලමේ සිට රෝමය කරා රැගෙන පියගැට පෙළකි. ජේසු  සමිදුන්ගේ දුක්ප්‍රාප්තියට තුළ පිලාත් ආණ්ඩුකාරවරයාගේ මාලිගාවේ ඔවුන්වහන්සේව රැගෙන ගිය කොටස මෙසේ රෝමය කරා රැගෙන ආ බව ඉතිහාසයේ සදහන් වේ.

එම නිසා ශත වර්ෂ ගණනාවක් තිස්සේ දේවජනතාව මෙහි දණින් වැටි යාතිකා කරමින් මර්දන ක්‍රියාවන්හි යෙදුණු දක්නට ඇත. තවද ජුබිලි වසරක් ආරම්භ කිරීම සමගාමිව දොරටුවක් විවෘත කිරීමේ සිරිතක් ශු. සභාව තුළ පවතී. ඒ සදහා භාවිතා කරනු ලබන ඓතිහාසික දොරටුව ඇත්තේ ද මේ බැසිලිකා විමන තුළය. අපෝස්තුළුවරුන්ගේ සහ වේදසාක්ෂිවරුන්ගේ ගිරිගරුඪ ප්‍රතිමාවන් ප්‍රථමයෙන් ස්ථාපනය කරන ලද්දේ මෙහිය.

මෙහිදී අප වටහා ගතයුතු ප්‍රධාන ධර්මතා රාශියක් පවතී. සභාව යනු ගොඩනැගිල්ලක් හෝ ස්ථානයක් හෝ නොවන්නේය. දෙවිදාණන්ගේ වැඩසිටීම සිදුවන ස්ථානය දෙව්මැදුරක් වේ. ශු. පාවුළුතුමා පවසන පරිදි අප ශරීර දේවමාලිගාවක් වන අතර, එය ශුද්ධව සහ පිවිතුරුව තබා ගැනීම අප සැමගේ යුතුකම සහ වගකීම වේ. මෙලෙස ශු. සභාවේ අග්‍රදේවස්ථානය ලෙස විරුදාවලියේ පවතින මේ බැසිලිකාව කැපකිරීමේ මංගලෝත්සවය සමරන මෙදින ශු. සභා යන ක්‍රිස්තු ශරීරයේ හිස වන දිව්‍ය ගැලවුම්කරුවාණන්ට ඒකාබද්ධ වෙමින් රට, දැය, ශු. සභාව ගොඩනැංවීමට හා අපගේ ප්‍රසාද ස්නාපනිය කැදවීම සිහිපත් කරන සුවිශේෂී දේවධාර්මික අගයක් පවතින මංගලොත්සවයකි.

සටහන - අසේල දසනායක