සාන්තුවරභාවය තීරණය වන්නේ මුදල මතද?

සාන්තුවරභාවයට එසවීමේ ක්‍රියාවලිය යනු පුද්ගලයෙකුගේ ශුද්ධ ජීවිතය, ප්‍රාතිහාර්යයන් සහ කිතුනු ගුණධර්ම විමර්ශනය කරන සවිස්තරාත්මක, කාලය ගතවන දැඩි ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියට අදියර කිහිපයක් ඇතුළත් වේ. මුලින්ම, අදාළ රදගුරු පදවිය තුළ මූලික පරීක්ෂණයක් පැවැත්වේ. මෙහිදී අදාළ පුද්ගලයාගේ ජීවිතය, ලේඛන, සාක්ෂිකරුවන්ගේ කටඋත්තර, සහ ප්‍රාතිහාර්යයන් පිළිබඳව තොරතුරු රැස්කරනු ලැබේ. මෙම දත්ත රැස්කිරීම පොසිටියෝ නම් ලිඛිත ලේඛනයක් බවට පත් කෙරේ. මෙය පිටු දහස් ගණනක් විය හැකි අතර, එය රෝමයට යවනු ලබන්නේ ශුද්ධාසනයේ සාන්තුවරයන්ගේ හේතූන් පිළිබඳ සංසදය මගින් වැඩිදුර විමර්ශනය කිරීම සඳහාය.
මෙම "රෝම අවධිය" තුළදී, දේවධර්මවේදීන්, ඉතිහාසඥයන්, වෛද්‍යවරුන් (විශේෂයෙන් ප්‍රාතිහාර්යයන් විමර්ශනය කිරීම සඳහා) වැනි විශේෂඥයන්ගේ සේවය ලබා ගනී. මෙම විශේෂඥයන්ගේ ගාස්තු, ලේඛන පරිවර්තන වියදම්, පර්යේෂණ කටයුතු, සහ අවශ්‍ය නම් දේහය කැනීම් කර නැවත තැන්පත් කිරීමේ වියදම් වැනි දේ සාන්තුවරභාවයට එසවීමේ ක්‍රියාවලියේ මුදල්මය පිරිවැයට ඇතුළත් වේ. මීට අමතරව, භාග්‍යවරයට එසවීම සහ සාන්තුවරයට එසවීම සදහා උත්සව පැවැත්වීමටද වියදම් දරන්නට සිදු වේ.
මෙම වියදම් දරනු ලබන්නේ බොහෝ විට අදාළ පුද්ගලයා සාන්තුවරභාවය සඳහා ඉදිරිපත් කරන රදගුරු පදවිය, ආගමික නිකාය හෝ පුද්ගලයන් කණ්ඩායම විසිනි. සමහර අවස්ථාවලදී, ධනවත් පරිත්‍යාගශීලීන්ගෙන් හෝ අරමුදල් රැස්කිරීම් මගින් ද මෙම වියදම් පියවා ගනී. කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාන්තුවරභාවයට පත්කිරීමේ ක්‍රියාවලියේ මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීමට සහ වියදම් පාලනය කිරීමට පියවර ගත්තේය. 2016 දී, උන්වහන්සේ නව නීති පැනවූ අතර, එමගින් මූල්‍ය අධීක්ෂණය දැඩි කර, වියදම් පිළිබඳ නිත්‍ය ගිණුම්කරණය අනිවාර්ය කරන ලදී.
දුප්පත් ප්‍රදේශවලින් සාන්තුවරයන් බිහිවීම මෙම ක්‍රමය නිසා අඩාල වේද යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස, අතීතයේදී මූල්‍යමය සම්පත් නොමැතිකම හේතුවෙන් සමහර අපේක්ෂකයන්ගේ ක්‍රියාවලීන් මන්දගාමී වී තිබුනි. නමුත් ශුද්ධෝත්තම දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ 1983 දී "සහයෝගිතා අරමුදලක්" පිහිටුවා, මූල්‍ය සම්පත් නොමැති රටවල් වල සාන්තුවරයන්ගේ හේතූන් සඳහා ආධාර ලබා දීමට පියවර ගත් සේක. ෆ්‍රැන්සිස් පාප් වහන්සේද මෙම අරමුදල ශක්තිමත් කරමින්, මූල්‍යමය සහයෝගය අවශ්‍ය සාන්තුවරයන්ගේ හේතූන් සඳහා උපකාර කිරීමට කටයුතු කළේය. මෙය මූල්‍යමය බාධාවන් නිසා කිසිවෙකුට සාන්තුවරභාවයට පත්වීමේ අවස්ථාව අහිමි නොවීමට සහයක් විය.
එමෙන්ම සාන්තුවරභාවයට එසවීම සදහා එම පුද්ගලයාව යෝජනා කරන පදවියේ පිහිටීමද යම්තාක් දුරකට බලපෑමක් ඇතිකරයි. උදාරහරණයකට ඉතාලිය හෝ ඒ අවට වාසය කළ සාන්තුවරයෙකු පිළිබඳ පර්යේශන කිරීමේදී ගතවන ගමන් කාලය, ගමන් වියදම්, භාශා පහසුව හා අනෙකුත් කාරණා නිසා එවැනි සාන්තුවර හේතූන් පහසුවෙන් අධ්‍යනයට භාජනය වේ. අනෙක් අතට ලංකාව වැනි රටක සාන්තුවර හේතුවක් පරික්ශා කිරීමේදී එම පුද්ගලයාගේ ලේඛන ඉතාලි හෝ ඉංග්‍රීසි වලට පරිවර්තනය කිරීමට වැඩි කාලයක්, ධනයක් ශ්‍රමයක් වැය වේ. එමෙන්ම අදාළ වාර්ථා ලංකාවේ සිට රෝමයට ප්‍රවාහනයට වැඩි කාලයක් හා ගාස්තුවක් වැය වේ. එසේම මෙම සාන්තුවර හේතූන්වලට වැය වන මුදල පවා භාවිතා වන්නේ අදාළ පර්‍යේශන වලට මිසක් සාන්තුවරභාවයට එසවීම වෙනුවෙන් වතිකානුවට ගෙවන මුදලක් නොවන බව වටහා ගත යුතුය. එමනිසා මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගැනීමෙන් පෙනී යන්නේ සාන්තුවරභාවයට එසවීමේ ක්‍රියාවලිය මුදලට පමණක් ලඝුකිරීම සාධාරණ නොවන බව හා එය තවත් ප්‍රායෝගික කාරණා රැසක එකතුවක් බව තේරුම් ගත යුතුය යන්නයි.