සත්ව මාංශ අනුභව කිරිම කිතුනුවන්ට අකැපද?

සත්ව මාංශ අනුභව කිරිම කිතුනුවන්ට අකැපද?

ප්‍රශ්නය :- පසුගිය උත්සව සමයේ මා හා සංවාදයේ යෙදුන මගේ හොඳ, බෞද්ධ මිතුරකු කිසිදු අනුකම්පාවක් නොමැතිව ආහාර පිණිස සතුන් ඝාතනය කරන බවත්, එම උත්සව සඳහා මස් වර්ග බොහෝ විට කෑම සඳහා යොදාගන්නත් බවත් චෝදනාත්මක ස්වරූපයෙන් කියන ලදි. එපමනක් නොව සතුන් මැරිම පිළිබඳ කිතුනු ඉගැන්වීම කුමක්දැයි කියා මගෙන් ප්‍රශ්න කළ විට මා ඒ සඳහා පැහැදිලි පිළිතුරක් දීමට අපොහොසත්විමි. මේ පිළිබඳ සභාවේ ස්ථාවරය සරලව පහදා දෙන්න.
පිළිතුර :- ඔබගේ මිතුරා විසින් ඔබට නගන ලද එම චෝදනාව අලුත් දෙයක් නොවේ. මාංශ සඳහා සතුන් ඝාතනය කිරිම පිළිබඳ බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ කිතුනුවන් වන අපටයි. එපමනක් නොව මාංශ අනුභව කිරිමේ සිරිත යුරෝපයෙන් ලංකාවට පුරුදු කළේද කිතුනුවන් බවට සමහරු චෝදනා කරති. අප පළමුවෙන්ම කිව යුත්තේ ලංකාවේ මස් සහ මාළු කෑමට ගන්නේ කිතුනුවන් පමණක් නම්, අප මේ චෝදනාව පිළිගත යුතු වෙයි. නමුත් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 6% ක් පමණ වන කිතුනු ජනතාව අද ලංකාවේ දිනකට අල්ලන මසුන් ප්‍රමාණය තම ආහාර සඳහා නිපදවන මස් ප්‍රමාණය සම්පුර්ණයෙන්ම තමන්ගේ පරිභෝජනය සඳහා යොදාගන්නවා යැයි කිසිවකුට කිව හැකිදැයි මම අභියෝග කරමි. කිතුනුවන් හා අනිකුත් ආගම් ලබ්ධිකයන්ගෙන් බහුතරයකගේ කෑම වේලක අනිවාර්යයෙන්ම මස්, මාලු හෝ කරවල ඇතුළත් වී තිබිම සාමාන්‍ය දෙයකි. එමනිසා පළමුවෙන්ම කිතුනු අපට එල්ල කරන චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ශ්‍රී ලංකාවේ පුරාතනයේ ජීවත් වු මිනිසුන් තමන්ගේ ආහාරය සඳහා සතුන් දඩයම් කළ බවට ඉතිහාසය තුළ කොතෙකුත් සාක්ෂි ඇත. එමනිසා ශ්‍රී ලාංකික ජනතාවට මස්, මාලු කෑම පුරුදු කළේ කිතුනුවන් නොවන බව ද අපි අවධාරණයෙන් ප්‍රකාශ කරමු.

මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙස කිතුනු ස්ථාවරය සොයා යෑම අප ආරම්භ කළ යුත්තේ ශීල ධාර්මික පදනමක් මත පිහිටුවීමෙනි. ශු. බයිබලයේ උත්පත්ති පොතේ ලෝකය මැවීම විස්තර කරන පළමු පරිච්ඡේදයේ සඳහන් වන්නේ හිස් බව තුළින් සියල්ල මවා වදාළ දෙවියන් වහන්සේ, තමන් වහන්සේගේ සමානත්වයට හා ස්වරූපයට මිනිසා මැවු බවයි. එනම් මැවිල්ල තුළ අමරණීය ආත්මයක් ඇත්තේ මිනිසාට පමණී. අප සතුන් සිවුපාවුන් දේව මැවිල්ලේ කොටසක් ලෙස සැලකුවත්, කිසිදා මිනිසා හා සතුන් එක හා සමාන තත්ත්වයක තබා කථා කළ නොහැක. සමහර මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරුණත්, මනුෂ්‍යත්වයේ උතුම්කම හා ගරුත්වය ඔහුන් සතුය.

මැවිල්ල මවා වදාළ දෙවියන් වහන්සේ එය මිනිසාගේ භාරකාරත්වයට පත් කළ සේක. "නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහිද, අහසේ පක්ෂීන් කෙරෙහි ද බලය පවත්වන්නැයි " (උත්: 1:28). දෙවියන් වහන්සේ වදාළේ ඒ නිසාය. මෙයින් අදහස් කරන්නේ මිනිසාට මැවිල්ල තමන්ට රිසි අයුරින් පරිහරණය කළ හැකි යැයි යන්න් නොවේ. මෙහිදි උත්පත්ති පොත අපට පෙන්වා දෙන්නේ මිනිසා වෙනුවෙන් මවන ලද මැවිල්ල දෙවියන් වහන්සේ භාරකාරත්වයට පත්කළ වගයි. එමනිසා මිනිසා මෙම මැවිල්ලට ගරු කළ යුතුයි. එය සුරැකිය යුතුයි. එපමනක් නොව මැවිල්ල දේව දීමනාවක් ලෙස සලකා, මැවිල්ලේ පරමාර්ථය තුළ එය මිනිසාගේ යහපත සඳහා යොදා ගත යුතුයි. දිනෙන් දින සංවර්ධනය වන මැවිල්ල තුළ මිනිසාද දියුණුව සඳහා ඉදිරියට ගමන් කළ යුතුයි.

මේ අනුව මනුෂ්‍යයා හා සතුන් සිව්පාවුන් අතර ඇති වෙනස හොඳින් අවබෝධ කරගැනිමෙන් පසු හා මැවීම පිළිබඳ මිනිසාගේ භාරකාරත්වයේ දූත සේවාව තේරුම් ගැනිමෙන් පසු අපට එළඹිය හැකි නිගමනය නම්, මිනිසාට ශ්‍රමය, ප්‍රවාහනය, ආහාරය, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවැසිතාවන් සඳහා සතුන් යොදාගත හැකි බවයි. මිනිසා අශ්වයකු පිට යද්දි, අලියකු ලවා කොට අද්දවද්දි, හරකකු කරත්තයේ බැද බඩු එහා මෙහා ගෙන යද්දී කිසිවකු එම සත්වයාගේ නිදහස් කැමැත්ත හෝ එහි සාධාරණ අසාධාරණත්වය ගැන කතා කරන්නේ නැත. මන්ද මිනිසාට ඒ සඳහා නිදහස ඇත. වසු පැටවාගේ කිරි අපගේ දරුවන්ට බොන්න දෙද්දි අප වසුපැටවාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැත. මන්ද එය මිනිසාගේ අයිතිවාසිකමකි.

සතුන්ගේ හම් යොදාගනිමින් මිනිසා ඇඳුම් මසා ගත්තේ අද ඊයේ නොවේ. මිනිසා පාපයට වැටීමෙන් පසු දෙවියන් වහන්සේම හම් වස්ත්‍ර සාදා ආදම්ට හා ඔහුගේ භාර්‍යාවට ඇන්දවු බව අප උත්පත්ති පොතේ 3:21 හි කියවනු ලැබේ. ස්නාවක ජුවාම් ද තමන්ගේ දුත සේවාව සඳහා පැමිණියේ ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ ඉණ වටා හම් පටියක් බැඳගෙනය. පලඟැටියන් හා වණ මී ඔහුගේ ආහාරය විය (මතෙව් 3:4). මෙලෙස මැවීම මිනිසාගේ අවැසිතා සඳහා ප්‍රයෝජනයට ගනු ලැබුයේ මුල් යුගයේ පටන්මය.

නමුත් මිනිසා මැවිල්ල හා එයට අයත් සතුන්, ගහකොළ, කිසිසේත් අනිසි ලෙස පාවිච්චි නොකළ යුතුය. තේරුමක් නැතිව සතුන් ඝාතනය කිරිම හා ඔහුනට වේදනා විඳීමට සැලැස්වීමත් දේව සැලැස්ම නොවේ. එය දේව මැවිල්ලට කරන අගෞරවයකි. "සතුන්ට උවමනා ලෙස හිංසා කිරිම හෝ ඔහුන් මරණයට පත්කිරිම මිනිසාගේ උතුම්කමට විරුද්ධ ක්‍රියාවකි". (2418) විශ්ව ධර්මෝපදේශය අපට උගන්වයි.

එහිම සඳහන් වන්නේ මිනිසාගේ ආහාරය හා ඇඳුම් පැළඳුම් සඳහා සතුන් ප්‍රයෝජනයට ගැනිම යුක්ති සහගත බවය. එසේම සාධාරණ සීමාවන් තුළ මිනිසාගේ යහපත සඳහා වෛද්‍ය හා විද්‍යාත්මක පරීක්ෂණ සඳහා සතුන් යොදා ගැනිම ද කළ හැක. (2417) සතුන්ව අයුතු ලෙස යොදා ගැනිම හෝ ඔහුන්ගේ මස් මාංශ නාස්ති කිරිම හෝ අරමුණක් නොමැතිව සතුන්ට හිංසා කිරිම හෝ ඝාතනය කිරිම හෝ පාපයකි.

අප මේ ප්‍රශ්න සාකච්ඡා කිරිමේදි අවධානය යොමු කල යුතු තවත් වැදගත් පැතිකඩක් වෙයි. අද අපේ රටේ දරුවෝ ලිංගික අපචාර සඳහා යොදා ගනිති. වසරකට දහස් ගණනක් දරුවෝ ගබ්සා කර මරා දමති.

ගෘහස්ථ හිංසනය නිසා කාන්තාවන් විශාල පිරිසක් හා ඔහුන්ගේ දරුවන් පීඩාවට ලක්වෙමින් සිටිති. දිනපතාම රිය අනතුරු වලින් හා මිනිමැරිම් වලට ලක්වීම නිසා මිනිස් ජිවිත විනාශ වෙමින් පවති. නමුත් මේ පිළිබඳ හඬක් නගන්නේ කව්ද? මේ හැම විනාශකාරී ක්‍රියාවන් හෙළා දකිමින් මිනිස් දිවියේ උතුම්කම සුරැකීමට නිරන්තරයෙන් කැපවී සිටින ජනතාවක් ලෙස මෙවැනි ගැටළු හමුවේ අපගේ ස්ථාවරය ගැන කතෝලික අපි ආඩම්බර විය යුත්තෙමු.

සටහන - අතිගරු ප්‍රැන්සිස් සේනානායක පියතුමා
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ