කතෝලිකයෙක්ට දෙවිවරු දෙදෙනෙක්ට වදින්න පුලුවන්ද?

කතෝලිකයෙක්ට දෙවිවරු දෙදෙනෙක්ට වදින්න පුලුවන්ද?
Photo by Smile Difrnt / Unsplash

ප්‍රශ්නය:

මෑතකදී ක්‍රිස්තියානිකාරයෙක් (කතෝලික හෝ කතෝලික නොවන) බෝධියට වන්දනා කරන ඡායාරූපයක් ෆේස්බුක් එකේ තිබුණා. ඒකට සමහර කතෝලිකයෝ කමෙන්ට්ස් දාලා තිබුණා ආගම සහජීවනය සඳහා හැම ආගමකට ගරු කරන එක හොඳයි සහ ඊට විරුද්ධව කමෙන්ට්ස් දාපු කතෝලිකයෝ හට අන්තවාදී ලේබලය ගසා, ඔවුන් බුද්ධාගමට නිගරු කරනවා කියලා කමෙන්ට්ස් දාලා තිබුණා. මේ පිළිබඳව කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:

කතෝලික දහමට අනුව, වන්දනාව දෙවියන් වහන්සේට පමණක් විය යුතු අතර, ඒ හැර වෙනත් දෑවලට දේවත්වය සලකා වන්දනා කිරීම සභාවේ ඉගැන්වීම්වලට පටහැනි වේ.

මෙය සභාවේ ඉගැන්වීම් අඩංගු ශුද්ධවු ලියවිල්ල, සභා නීතිය, සභා ධර්මෝපදේශය සහ සාන්තුවර ඉගැන්වීම්වල පහත ලෙස දක්වා ඇත.

ශුද්ධවු ලියවිල්ල

  1. පළමු පණත : මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය. (නික්මයාම 20:3)
  2. දෙවන පණත : නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. (නික්මයාම 20: 4-5)

මෙම පණත් පැහැදිලිවම රූප වන්දනාව තහනම් කරන අතර එයට ඕනෑම වස්තුවක්, එනම් වෘක්ෂයක් පවා වන්දනා කිරීම තහනම් වේ.

සභා නීතිය

  1. 1188 නීතිය: ප්‍රතිමා සහ රූප සංයමයකින් ප්‍රදර්ශනය විය යුතු අතර ඒවා ගෞරවයට පාත්‍ර කිරීම මඟින් ඇදහිලිවන්තයන්ගේ භක්තිය සහ ධර්මය පෝෂණය විය යුතුයි. කෙසේ වෙතත්, වන්දනාව යොමු විය යුත්තේ රූපයෙන් නියෝජනය වන දෙය මිසක් අදාල රූපය නොවන බව තේරුම් ගත යුතුයි.
  2. 1258 නීතිය: මෙයින් කතෝලිකයන් හට, කතෝලික නොවන වන්දනාවන් සහ චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී වීම තහනම් කර ඇත

කතෝලික සභා ධර්මෝපදේශය

  1. 2113 ඡේදය: රූප වන්දනාව යනු බොරු මිත්‍යාදෘශ්ටික නමස්කාරයක් පමණක් නොවේ. එය ඇදහිල්ල සඳහා නිරන්තරව එල්ලවන පරීක්ෂාවකි. රූප වන්දනාව සමන්විත වන්නේ දෙවියන් වහන්සේට අයත් නොවන දේට දේවත්වය ආරෝපණය කිරීම වේ. දෙවියන් වහන්සේ වෙනුවට වෙනත් ඕනෑම මැවිල්ලකට ගෞරව වන්දනා කරන මිනිසා සෑම විටම රූප වන්දනාවේ යෙදෙයි.
  2. 2132 ඡේදය: ක්‍රිස්තියානින් විසින් රූපවලට දක්වන ගෞරව කිරීම පළමු පණතේ දැක්වෙන රූප වන්දනා නීතියට පටහැනි නොවේ. සත්‍ය වශයෙන්ම එම ගෞරවය අදාල රූපයේ මූලාකෘතියට ලබා දීමක් වන අතර, යම් රූපයකට ගරු කරන තැනැත්තෙක්, අදාල රූපයෙන් නිරූපණය වන පුද්ගලයාට ගරු කරයි. පූජනීය රූපවලට දක්වන ගෞරවය, ගෞරවනීය ප්‍රණාමය දැක්වීමක් මිස, දෙවියන් වහන්සේට පමණක් කල යුතු වන්දනාව ලබා දීම නොවේ.

සාන්තුවරුන්ගේ ඉගැන්වීම්

  1. ශුද්ධවු අගොස්තීනූතුමා: රූප වන්දනාව යනු භාවිතා කල යුතු ඕනෑම දෙයකට වන්දනා කිරීම හෝ වන්දනා කල යුතු ඕනෑම දෙයක් භාවිතා කිරීමයි.
  2. ශුද්ධවු තෝමස් ඇක්වයිනස්තුමා: රූපවන්දනාව යනු මැවිල්ලක්, දෙවියන් වහන්සේ ලෙස වන්දනා කිරීමයි. මෙම වන්දනාව පළමු ආඥාව මඟින් දෙවියන් වහන්සේට පමණක් ලබා දිය යුතු වන්දනාව දෙවියන් වහන්සේට පමණක් දීම සඳහා මිනිසා යොමු කිරීම පිණිස තහනම් කර ඇත.

ආගමික සංහිඳියාව සහ ගෞරවය

අන්‍යාගම්වලට ගරු කිරීම සහ සංහිඳියාවට අනුබල දීම ඉතා හොඳ දෙයකි. කෙසේ වෙතත්, එය අපගේ ආගමේ ප්‍රතිපත්තිවලට එරෙහිව යන දෑ සිදු කිරීමෙන් තොර විය යුතුයි. සැබෑ ආගමික සංහිඳියාව ඇත්තේ අන්‍යොන්‍ය ගරුත්වය සහ අවබෝධය මත මිස, තවත් ආගමක වන්දනාවන් සහ අනෙකුත් සිරිත් විරිත් සිදු කිරීමේ අනිවාර්යබව මත නොවේ.

එම නිසා අවසාන වශයෙන් කීමට ඇත්තේ, කතෝලික ඉගැන්වීම් අනුව,

  • වන්දනාව දෙවියන් වහන්සේට පමණක් වෙන්වී ඇති බවත්, උන්වහන්සේ හැර වෙනත් දෑ, කොටින්ම වෘක්ෂයක් පවා දේවත්වයේ සලකා වන්දනා කිරීම රූපවන්දනාවේ පාපය යටත් වේ.
  • සංහිඳියාව නාමයෙන් අන්‍යාගමික වන්දනාවන් සිදු කිරීම පිළිගත නොහැකිය.
  • අන්‍යාගම්වලට ගරු කිරීම යනු තම ආගමේ ඉගැන්වීම් වෙනස් කිරීම, නැවීම හෝ කණපිට ගැසීම නොවේ.

එබැවින්, ශුද්ධවු ලියවිල්ල, සභා නීතිය සහ සභා ධර්මෝපදේශය අනුව බෝ ගසට හෝ වෙනත් ඕනෑම ගසකට වන්දනා කිරීමට අවසර නැත. ආගමික සංහිඳියාව සහ ගෞරවය පෝෂණය කිරීම වැදගත් වුවත්, එයට යටත්ව රූප වන්දනාවේ යෙදීම කතෝලිකයන්ට නොඅගනේය.

උපුටාගැනීම : Defende Fidem - ඇදහිල්ල සුරකිනු පිටුවෙන්

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;