කතෝලික සභාව ලොවට හඳුන්වා දුන් දින දර්ශනය

කතෝලික සභාව ලොවට හඳුන්වා දුන් දින දර්ශනය
Photo by Brooke Lark / Unsplash

📅 අප අද අනුගමනය කරණ දින දර්ශනය අනුව සෑම වසරක ම ක්‍රිස්තු වර්ෂයක් (ක්‍රි.ව.) ලෙස හඳුන්වනු ලබයි. ඒ එසේ වුව ද මෙසේ අවුරුදු හෙවත් වසර ගණන් කරනු ලබන්නේ කෙසේදැයි දැන සිටින්නේ ඉතා ස්වල්ප දෙනකු බව රහසක් නොවේ.

📅 ලෝකයේ විවිධ ජාතීන් අතර විවිධාකාරයෙන් දින නියම කිරීම සිදු විය. ලක්දිව අප බොහෝ දුරට හිරු භ්‍රමණය අනුව වසර නියම කැර ගත්තේය. ඇතැම් ජාතීහු සඳ උදාව පදනම් කොටගෙන එසේ කළෝය. ජුද ගෝත්‍රිකයෝ ද මේ සම්ප්‍රදාය අනුගමනය කළෝය මුස්ලිම් ලබ්ධිකයින්ද එසේම සඳ පදනම් කොට ගත් වසර ආරම්භ කළේ මුම්මද්තුමා මක්කම් නුවර සිට අරාබියේ මදීනාවට ගිය ක්‍රි.ව. 622 ජූලි මස 16 වන සිකුරාදා සිටයි. ඔවුනට දවස ආරම්භ වන්නේ සවසයි.

📅 ඉන්දියාව තුළ දින දර්ශන කිහිපයක් විය. එහි 5000 වසරක ඉතිහාසය තුළ එවකට පැවැති ප්‍රාන්ත රජ ක්‍රමය අනුව විවිධ රජවරුන් විවිධ දින දර්ශන අනුගමනය කර ඇත. දස සතරක් වූ මෙම දින දර්ශන වලින් ඉතිරි වූයේ දෙකක් පමණි. ඒ වික්‍රම් සහ සක යන දින දර්ශන දෙකයි. මේ දෙකත් සමඟ අද තවත් දින දර්ශන සතරක් ඉන්දියාවේ භාවිත කරනු ලැබේ. ඒ ග්‍රෙගෝරියාන, ජුදෙව්, පාර්සි සහ මුස්ලිම් දින දර්ශනයි.

📅 අද ලොව පුරා ව්‍යාප්තව භාවිත කරනු ලබන්නේ ග්‍රෙගෝරියාන දින දර්ශනය බව පිළිගත යුතුයි. මෙය ඉදිරිපත් කරනු ලැබුවේ දස තුන්වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින්ය. එය ඉදිරිපත් වූයේ

ක්‍රි.ව. 1582 දීය. මෙම දින දර්ශනය අනුව වාර්ෂිකව යෙදෙන කාල ඍතු මෙන් ම සඳු භ්‍රමණය දගැලැපෙන්නේ ය. මෙය ඉතා ප්‍රායෝගික වූ හෙයින් බොහෝ කිතුනු නොවන රට රාජ්‍යයන් ද එය පිළිගෙන යොදා ගත්තේය. මේ අතර ජපානයට සහ චීනයට විශේෂ තැනක් හිමි වන්නේ ය. ජපානයේ ආරම්භය ක්‍රි.පූ. 660 පෙබරවාරි මස 11 වැනිදා ජිම්මු ටෙන්නෝ විසින් කරන ලදැයි එහි රට වැසියෝ විශ්වාස කරති. මේ අනුව එම සම්ප්‍රදායයද, තත්කාලීනව රජ කරන අධිරාජ්‍යයාගේ පාලන කාලය ද එක්කොට ජපන් ජාතිකයෝ දින ගණිති.

📅  චීනය ක්‍රි.ව. 1911 සිට ම ග්‍රෙගෝරියාන දින දර්ශනය පිළිගත්තේ ය. ක්‍රි.ව. 1933 සිට ඔවුන් ගේ පැරැණි චීන දින දර්ශනය මුද්‍රණය ද කිරීම තහනම් කරන ලදී. මෙයින් ලෝකයේ දීර්ඝම කලක් භාවිත වූ දින දර්ශනය අවසානයට පත් විය. මෙම චීන දින දර්ශනය යටත් පිරිසෙයින් ක්‍රි. පූ. 2357 සිට ඒ දක්වා නොකඩවා භාවිත කොට ඇතැයි වාර්තා වේ.

📅  මෙම ග්‍රෙගෝරියාන කැලැන්ඩරය හෙවත් දින දර්ශනය ක්‍රිව. 45 දී ජුලියස් සේසරු අධිරාජ්‍යයා විසින් හඳුන්වා දෙන ලද "ජූලියන් දින දර්ශනය" ද සඳේ භ්‍රමණය පදනම් කොට ගත් මෙටොනික් කැලැන්ඩරය ද උපයෝගී කැරගෙන නිර්මාණය කරන ලදි. මෙය පිළියෙළ කිරීම සඳහා උපදෙස් දී ඇත්තේ ඉතාලි ජාතික වෛද්‍යවරයකු වූ ලුයිජි ලියෝ සහ ජර්මන් ජාතික ජේසු නිකායික ක්‍රිස්ටෝෆර් ක්ලා වියුස් ගරු.පියතුමන් ද විසිනි.

📅  මෙසේ පිළියෙළ කරන ලද දින දර්ශනය 13 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් අනුමත කරන ලදුව ප්‍රකාශයට පත් කරන ලද්දේ ක්‍රි.ව. 1582 පෙබරවාරි මස 24 වන දින නිකුත් කරන ලද නියෝග පත්‍රයෙනි.

📅  දින දර්ශන ප්‍රතිසංවිධානය කොට කැලැන්ඩරය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන කාරණා තුනක් සිදු විය.

*පළමුව ක්‍රි.ව. 1582 ඔක්තෝබර් මාසයෙන් දවස් 10 ක් ඉවත් කරන ලදී. ඔක්තෝබර් මස 4 වන බ්‍රහස්පතින්දාට පසු උදාවූ සිකුරාදා එම මස 5 වැනිදා නොව 15 වන දා විය. එසේ කරන ලද්දේ එතෙක් පැවැති දින දර්ශනය නිවැරැදි කිරීම සඳහා ය.

*දෙවනුව ඉන් ඉක්බිති යෙදුණු සැම සිව්වැනි වසරම අධික වර්ෂයක් හෙවත් 366 දවසකින් යුත් වසරක් කරන ලදී. එහෙත් එය සියක් වසරක් සම්පූර්ණ වන වසරකට යෙදුණහොත්

(වසර 1900, 2000 වැනි) එම ඉලක්කම් නිශ්චිත ව 400 න් බෙදිය නො හැකි නම් ඒ සිව් වැනි වසර අධිකවර්ෂයක් නොවන්නේය. තුන්වැනි ව වසරේ පළමු දිනහෙවත් ආරම්භක දිනය ජනවාරි පළමුදාට නියම විය.

පාප් වහන්සේ කළ මෙම ප්‍රතිසංස්කරණය හේතුවෙන් හිරු භ්‍රමණය අනුව අප දින නියමය අතිශයින් නිරවද්‍ය වන්නේය. එසේ වුව ද එය සියයට සියයක් ම නිරවද්‍ය නොවේ. හිරු භ්‍රමණය සඳහා ගෙවන කාලය තත්පර 26 කින් කැලැන්ඩරයේ දැක්වෙන වසරේ කාලයට වඩා දිග් වේ. එහෙත් මෙයින් වන්නේ වසර 3,323 කට එක් දිනක් වැඩිවීම පමණකි.

මෙය කතෝලික සභාවෙන් තත්කාලීන මුළු ලොවට ම සිදු වූමහඟු සේවාවක් නොවේද ?

(අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමාගේ 'කතෝලික යටගියාව' පොතෙන්)

ස්තූතියි !

ජේසු පිහිටයි ❤

ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව