ඉතිහාසය විකෘති නොවන පිණිස - බෝලවත්ත දේවස්ථානයේ සොහොන

ඉතිහාසය විකෘති නොවන පිණිස - බෝලවත්ත දේවස්ථානයේ සොහොන

මීට දින කිහිපයකට පෙර හලාවත පදවියේ බෝලවත්ත දේවස්ථානයෙන් අහඹු ලෙස ඉපැරණි සොහොනක් හමුව තිබීම මේ වන විට ලාංකේය කතෝලික සංඝයේ  පමණක් නොව අන්‍යාගමිකයන් අතර පවා බෙහෙවින් කතාබහට ලක්විය.එම සොහොන ධර්ම පඩිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ හෝ වෙනත් පියතුමෙකුගේ හෝ දේවස්ථානය භාරව කටයුතු කළ ගිහි අන්නවීරාළ කෙනෙකුගේ හෝ මුහුප්පු රාළ කෙනෙකුගේ හෝ යන්න ප්‍රථමයෙන් කුකුසක් ඇති වුවද දැන් දැන් එම සිරුර ශු. ජුසේ වාස් මුනිදුන්ගේ යැයි කොහෙවත් නැති අමුතුම ඉතිහාසයක් කරලියට පැමිණෙමින් තිබේ. අද මෙන් නොව එකල කිතු සසුනේ වූ සියලුම දේවල් මුඛ පරම්පරාගතව හෝ ලිඛිතව පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට පැමිණ ඇත .

වාස් පියතුමා මියගිය කොහෙද ?

ලිඛිත ඉතිහාසයට අනුව වාස් පියතුමා මියගියේ මහනුවරදීය. එමෙන්ම එතුමන්ගේ සිරුර උන්වහන්සේ විසින් ගොඩනඟන ලද " මිත්‍යා දෘෂ්ටිකයින් සත්‍යාආගමට හරවා ගැනීමේ අප ස්වාමි දූ "  දෙව්මැදුරේදී භූමදානය කළ බවත් අවසන් කටයුතු ධර්ම පඩිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් කළ බවත් ලිඛිතව ඉතිහාස ගතවී ඇත. එවන් තත්ත්වයක් තුළ බෝලවත්ත දෙව්මැදුරට අයත් සමහරක් (සම හරක් ) විසින් තමන්ට අවැසි පරිදි අමුතුම ඉතිහාසයක් නිර්මාණය කිරීම විහිළු සහගත ය.

පෙරදින දේවස්ථානයට පැමිණ සිටි දෙවස්ථානයට අයත් එක් අයෙකු  ( 2022/01/ 18 ) පැමිණ සිටි මිනිසුන්ට පැවසූයේ " වාස් සුවාමි උන්නේ ලන්දේසි කාලෙනේ, මහනුවර උන්නා කියලා ලියවිලා තිබ්බට අන්තිම කාලයේ බෝලවත්තට ඇවිත් තියෙනවා. මෙහිදී තමා නැතිඋනේ. වැළලුවෙත්  මෙහෙනේ... " යනුවෙනි... මේවා ලැජ්ජාසහගත විහිලු කතාය.. ඉතිහාසය අමු අමුවේ විකෘති කිරීම ය. මෙහි අනිත් ලැජ්ජා සහගත කරුණ නම් බෝලවත්ත දේවස්ථානයට අයත් ඇතැම් පිරිස් හිතාමතාම මෙම සිරුර වාස්  සුවාමිගේ යැයි අමුතුම මතයකට පැමිණ අලුත්ම ඉතිහාසයක් නිර්මාණය කිරීමට සහ ඉන් ගොඩ යෑමට තැත් කිරීමයි. මේ වෙනවිට සමාජ මාධ්‍යජාල තුළ ද, රූපවාහිනි මාධ්‍ය ජාල තුළ ද, සොහොන  බැලීමට පැමිණෙන පිට දේවස්ථාන වල ජනතාව තුළ ද එම මතය එබ්බවීමට ඇතැම් පිරිස් කටයුතු කරන ආකාරයක් දිස් වේ.

මෙහි අවාසනාවන්ත තත්වය නම් ඇතැම් පූජකවරුන් ද ඔවුන් සතු ඉතිහාස දැනුම කෙතරම් අල්ප ද යැයි පෙන්වමින් මෙම සිරුර වාස්  ස්වාමිගේ  යැයි හෝ වාස් සුවාමිගේ විය හැකි යැයි ගිහි මිනිසුන් අතර මතයක් ගොඩනැගීමට උත්සාහ කිරීමයි. පූජක පක්ෂය ම මෙසේ පිස්සු කෙලිනවා නම් ගිහි මිනිසුන් ගැන කවර කතාද.... අනෙක් අතට මෙම අලුත්ම මතය ඉදිරියට ගෙන එන්නෙ බෝලවත්ත වර්තමාන දේවස්ථානය ඉදිකිරීමට පෙර තිබූ නිල් පැහැති පැරණි කුඩා දේවස්ථානය කඩා නව දේවස්ථානය බිහි කරන අවධියේ දේවස්ථානයේ සේවක සභාවේ ධුරයන් දරු ඇතැම් පිරිස් වීමත් කණගාටුවට කරුණකි.

වර්තමාන දේවස්ථානය ඉදිකිරීමේදී ඉපැරණි දේවස්ථානය විනාශ කළ , එම දේවස්ථානයේ  පැවති පෞරාණිකත්වයට හානි කළ එපමනක් නොව දේවස්ථානය ඇතුළත පිහිටා තිබූ අති උතුම් ඔරසියෝ බෙතකිනි රදගුරු තුමාගෙත්, ෆ්‍රැන්සිස් සේවියර් පියතුමාගේත් සහ ගර්සියා පියතුමාගේත් සොහොන් කොත් විනාස කර ඒවා උඩ පිහිටා තිබූ epitaph ගලවා ගොස් වර්තමාන දේවස්ථානයේ කුඩා පල්ලියක මූල්ලේ , ලැජ්ජාව වසා ගැනීමට මෙන් ප්‍රදර්ශනය කර දැමූ ,ඓතිහාසික බෝලවත්ත දේවස්ථානයේ ශ්‍රී විභූතිය විකෘති කළ විනාශ කළ පුද්ගලයන්  මේ වන විට මෙම සොහොන වාස් පියතුමාගේ යැයි අමුතුම ආකාරයේ ඉතිහාසයක් නිර්මාණය කිරීමට ඉදිරිපත් වී තිබීම ම නින්දා සහගත ය.

එකල සේවක සභාවේ ධූරයක් දැරූ " ඩේවිඩ් " නැමැති පුද්ගලයා සහා ඇතැම් පිරිස් මෙලෙස මෙ සොහොන වාස් පියතුමා ගෙ  විය හැකි යැයි කියමින් අමුතුම ඉතිහාසයක් නිර්මාණය කිරීම ලැජ්ජා සහගතය. තිබූ ඉතිහාසයත් දෙව් මැදුරේ ශ්‍රී සුභූතියත් විනාශ කළ පුද්ගලයන්ට ඇත්තෙන්ම වාස් පියතුමන්ගේ මිහිදන් කළ සිරුර හමුවූ වුවොත් කුමකින් කුමක් විය හැකිද... ?

අද වන විට එම අති උතුම් ඔරසියෝ බෙතකිනි හා අනෙක් පියතුමන්ලාගේ  සිරුරු මිහිදන් කළ සැබෑ ස්ථානයේ ලී බංකු දමා ඒ මත මිනිසුන් දිව්‍ය යාගය  මොහොතේදී ඉඳගැනීමත්,එම භූමිය හරහා උඩින් ඇවිද යාමත් සිදුවන අතර epitaphs පමණක් හුදකලාව කුඩා පල්ලිය තුල ඇත. මේ ගැන ඔවුන්ගෙන් අසන විට ඩෙවිඩ් නැමැත්තගෙ පිලිතුර නම් " අපි හාරලා බැලුවා මුකුත් පේන්න තිබුන නෑ පස් විතරයි ඒ නිසා වහලා දැම්මා වහලා දාලා ඉවර වෙලා epitaph  තුන  වෙනම පොඩි පල්ලියෙ තැන්පත් කලා..

ඔය ඔක්කොම සිරුරු ගරාදි වැටවල් ගසා වෙන් කරන්නට ගියොත් පල්ලිය  ඇතුළෙ ඉඩ මදිවෙයි... " යනුවෙනි... මරු කතෝලිකයෝය. වැඩිහිටියන් ලෙස ඔවුන් අනාගත පරම්පරාවට කතෝලික උරුමය ආරක්ෂා කළ හැටි නම් මරේ මරුය..  මෙම සිරුර වාස් පියතුමාගේ යැයි අනුමාන කරන දේවස්ථානයට අයත් පිරිස ඊට සාක්ෂි ලෙස කියන කතා විහිළු සහගත ය.

ඇතැමුන් කියන්නේ මහනුවර පීඩා සමයේදි නුවර කිතුනුවන් මහනුවරින් පිටමන් කළ විටදී ඔවුන් වාස් පියතුමාගේ සිරුර රැගෙන එන්නට ඇති බවය. ගොන්සාල්වෙස් පියතුමා, වාස් පියතුමාට බෙහෙවින් ගරු කළ බැවින්ද ප්‍රේම කළ බැවින් ද ඔහුගේ ලෙස සිරුර රැගෙන එන්නට ඇති යැයි ඔවුන් කියයි. එලෙස ගෙනා බවට ලිඛිත සාක්ෂි කිසිවක් හමුවන්නේ නැත. මුඛ පරම්පරාගතව සිරුර හෝ යම් අස්ථි කොටස් මහනුවරින් පිටතට ගෙනගිය බව කියවුනත්  එම සිරුර බෝලවත්තට ගෙනා බවට නම් කිසිම මුඛ පරම්පරාගත සහතිකයක් වත් නැත.

ඇතැමුන් පවසන්නේ විමලධර්මසූරිය රජ්ජුරුවෝ රාජකීය පෙරහැරක් මගින් එතුමා ගේ සිරුර බෝලවත්ත ට ගෙන එන්නට ඇති බවයි. මා ඇසූ ගොන්ම තර්කය එයයි... නුවර කතෝලිකයෝ පත්ව සිටියේ ඇඳි වත පමණක් ඉතිරිව හිස් අතින්ම මහනුවරින් පිටවීමේ තත්ත්වයකයි. වාස් පියතුමා ගේ සිරුර ගෙනෙනවා  තියා  තම පණ කෙන්ද  වත් රැක ගැනීමට ඔහුන්ට කාලයක් නොවීය.අනෙක් අතින් ලන්දේසින්ට කොටු නොවී ඔය කියන ආකාරයට රාජකීය පෙරහැරකින් සිරුර බෝලවත්ත ට රැගෙන ඒම කිසිසේත්ම කල හැකි දෙයක් නොවේ .ඉතිහාසය හදාරා ඇති අයට මේ කතා විහිලු පමණයි.

බෝලවත්තේ තවත් පිරිසකට අනුව රාජකීය පෙරහරකින් නොව පොහොර උර කඩ මලු වල දමා ඇටසැකිලි ගෙනෙන්නට ඇති බව කියයි. හිතළු , ප්‍රත්‍යක්ශ  කරුණු මෙන් පවසන  බෝලවත්තෙ ඇතැම් වැසියෝ නම්  ඇත්තෙන්ම  මරු ඩයල්‍ ය .

මේ මිනිසුන්ට නොතේරෙන වැදගත්ම කාරණය නම්, වාස් පියතුමාගේ සිරුර එලෙස රැගෙන ආවේ නම් ඒ ගෙනෙන්නට වන්නේ බෝලවත්තේ පළවෙනි දෙව්මැදුර තිබූ කාලයේ දී ය එනම් වර්තමාන සීනු කූඩුව පිහිටා ඇති ස්ථානයේය. එසේ ගෙන ආවා යැයි  උපකල්පනය කළහොත් "ගොන්සාල්වෙස් පියතුමා එතරම් ආදරය කළ " වාස් පියතුමාගේ සිරුර බෝලවත්තේ පළවෙනි දෙව් මැදුරේ ඇතුළත භූමදානය කරනවා වෙනුවට  පල්ලිය වත්තේ කිසිදු සලකුණක් නොමැතිව , epitaph එකක් පවා නොමැතිව භූමදානය කරයිද?

ලන්දේසීන් ගෙන් බේරා ගැනීම සඳහා ඒ ගැන එලෙස කිසිදු සලකුණක් නොමැතිව වැළලූවා යැයි කෙනෙකු තර්ක නගන්නේ නම් ඔවුන්ට කීමට ඇත්තේ ද ඔවුන්ගේ ඉතිහාස දැනුම ඉතා අල්ප බවයි. මන්ද එලෙස ලන්දේසීන්ගෙන් බේරා ගැනීමට කිසිදු සලකුණක් නොමැතිව බෝලවත්ත දෙව්මැදුරු බිමේ භුමදානය කලානම් ඒ ගැන නිසැක ව ම ගෝව පුරයට ලිඛිතව දන්වා යවනු ඇත. මන්ද එකල සම්ප්‍රදාය වූයේ මෙරට සිදුවන සියල්ල ලිපි මගින් රෝමයට හෝ ගෝව පුරයට වාර්තා කිරීමයි. එබැවින් එලෙස වාස් පියතුමාගේ සිරුර ගොන්සාල්වෙස් පියතුමා රැගෙන ආවේ නම් එතුමා ඒ පිළිබඳව ගෝව  පුරවට  වාර්තා නොකර සිටිවිද ? තමා බෙහෙවින් ආදරය කළ වාස් පියතුමාගේ සිරුර එක එකාට පෑගීමට හැකිවන අයුරින් පල්ලිය වත්තේ වළලා දමාවිද ?

එසේ නම් මේ සිරුර කාගේද?

පවතින සාක්කි අනුව මෙම සිරුර ගරු පූජකතුමෙකු ගෙ හෝ පැවිදි වරයෙකු ගේ නොව සාමාන්‍ය  ගිහි පුද්ගලයකුගේ ය . එසේ කීමට අප සතුව ඇති සාධක නම් ...

1. හොඳින් බලන්න මේ සොහොනේ කුරුසය , එනම් සිරුරේ හිස පැත්ත පිහිටා ඇත්තේ දේවස්ථානයෙන් එළිය දෙසට ය . එවිට කකුල් පිහිටන්නේ දේවස්ථානය ඇතුල් පැත්තට ය . සාමාන්‍යයෙන් එලෙස  භූමදානය කරන්නේ ගිහි පුද්ගලයන්ගේ සිරුරු පමණයි . එසේ නම් පැවිදි පූජක අයගේ සිරුරු  වළලන්නේ හිස දේවස්ථානය ඇතුළු පැත්තටත් කකුල් දේවස්තානයේ එළිය පැත්තටත් පිහිටන්නට ය. එසේ කිරීමට හේතුව නම්  දිව්‍ය පූජාව අවස්ථාවේ දී අවස්ථාවේදී ජනතාව අල්තාරය දෙසට හැරේ සිටීමත් පියතුමා ජනතාව දෙසට හැරී සිටීමත්  අර්ථ නිරූපණය කිරීමටය .

2. සාමාන්‍යයෙන් පූජක පැවිදි අයගේ සිරුරු දේවස්ථාන තුළ භූමදානය කරන විට එලෙස භූමදානය කරන්නේ ශුද්ධ වූ අල්තාරය ට ආසන්නවයි . බෝලවත්ත පැරණි දෙව්මැදුරේ එලෙස දේවස්තානයේ අල්තාරය අසල  ගොන්සාල්වේස් පියතුමාගේ දේහයත් අති උතුම් ඔරසියෝ බෙතකිනි රදගුරු තුමාගෙත්, ෆ්‍රැන්සිස් සේවියර් පියතුමාගේත් සහ ගර්සියා පියතුමාගේත් වලලා තිබු බවට  දන්නෝ දනිති.

නමුත් මෙම සිරුර භූමදානය කර ඇත්තේ දේවස්ථානයේ මණ්ඩපයට ආසන්නවයි. මාදම්පේ සෙබස්තියන් දෙව්මැදුරේ පවා මණ්ඩපයට ආසන්නව දේවස්ථානයේ එකල සේවය කළ ගිහි පුද්ගලයෙකුගේ සිරුරක් මේ අයුරින්ම භූමදානය කර ඇත .

3. පියතුමකු භූමදානය කරන විට සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම එම පියතුමාගේ නම ගම එතුමා පිළිබඳව විස්තරයක් සහ අඩු තරමේ එතුමා අයත් නිකාය සම්බන්ධව හෝ  කරුණු දක්වා ඇති සමරුවක් (epitaph )  දක්නට ලැබෙන අතර මෙම සොහොන උඩ එසේ කිසිවක් දක්නට නොලැබුණි.

4 එකල පැවැති සම්ප්‍රදායට අනුව  දේවස්ථාන තුළ සේවය කළ අන්නවිරාල / මුහුප්පුරාල , හා දෙව්මැදුර  අයත් ග්‍රාමයෙ මුදලියාර් වරුන්ව  ඔවුන් කළ සේවයට ඇගැයීමක් ලෙස දෙව්මැදුරු බිමේ හෝ මණ්ඩපය මත වල දැමීම සිරිතක් ව පැවැතියේ ය .

තවත් ප්‍රධානම කරුණක් නම් 2010 වර්ෂ කාලයේදී පමණ බෝලවත්ත  පල්ලියේ සේවය කළ පීටර් බොතේජු ගරු  පියතුමන්ගේ මතකයට අනුව පවා මෙම සොහොන පිහිටි ස්ථානයේ ගිහි පුද්ගලයන්ගේ සිරුරු දෙකක් භූමදාන කර තිබූ බවට එතුමා සාක්ෂි සපයයි . එතුමාගේ කාලයේ දී  යම් නඩත්තු කටයුත්තක් කරන විට මෙම සොහොන් කොත් දුටු බවත්  පසුව නැවත එම සොහොන්  ආරක්ෂා වන පරිදි සිමෙන්ති දමා  සුරැකිය බවත්  , එදා එලෙස එම කාර්යය සිදු සිදුකළ පුද්ගලයන් අද මුනිවත රකින බවත් එතුමා සාක්ෂි සපයයි.

විශේෂයෙන් බෝලවත්ත දේවස්ථානයේ  කලක් සේවක සභාවේ තනතුරක් දැරූ  ඉහත නම් කී  ඩේවිඩ් මහතා විසින්  පැරණි වී දේවස්ථානය කඩා නව දේවස්ථානය සාදන කාලයේදී මෙම සොහොන් කොත් දුටු බවත් ඒවා ඒ අයුරින්ම නැවත තිබෙන පරිදි දේවස්ථානය ඉදිකිරීම් කටයුතු කළ බවත් යම් යම් පුද්ගලයන් සමග පවසා ඇති අතර එදා එලෙස කෙරූ පුද්ගලයන් අද  මෙම සොහොන වාස් පියතුමාට හෝ  වෙන යම් පුද්ගලයෙකුට ආරෝපණය කිරීම  ප්‍රශ්නාර්ථයක් ගෙනදෙන  විගඩමක් පමණි.

අවසාන කොට කීමට ඇත්තේ  සිරුර කාගේද යන්න ඉදිරි පරීක්ෂණ කටයුතු වල දී නිසියාකාරව ම කාල නිර්ණයකට අනුව අපට දැනගැනීමට හැකිවනු ඇති බවත්  ඉහත  සාධක අනුව  මෙය කිසිසේත්ම බෝලවත්ත දේවස්ථානයේ ඇතැම් පුද්ගලයන් සාවද්‍ය ලෙස නිර්මාණය කරන ඉතිහාසයකට අනුව වාස් පියතුමාගේ නම් නොවන බවත් ය .

වාස්  පියාණන්ගේ සිරුර සොයා ගැනීමට ලැබේ නම් එම වාසනාව දෙවියන් වහන්සේ අපට නිසැකවම දෙනු ඇත . එක් අතකින් මෙවැනි සාවද්‍ය ඉතිහාස මවන වාට වඩා  , මෙවැනි පුද්ගලයන් අතට පත්වී එම සිරුරත් මුදල් ගලා එන මාර්ග කරගන්නවාට වඩා  ( මෙම සොහොනොන් පවා ගොඩ යන්නට ඇතැමුන් දැරූ ආකාරය මම ඇස් දෙකෙන් දුටිමි .)  වාස් පියාණන්ගේ සිරුරද තිබෙන තැනකම තිබෙන අයුරින් තිබෙන්නට හැරීම හොඳ යැයි මම සිතමි . මන්ද පෞරාණික දෙයක වටිනාකම ඇත්තේ  ඉතිහාසය ගැන කැක්කුමක් ඇති පුද්ගලයන්ට මිස  ඒ ගැන දැනුමක් නැති ,ඒ ගැන වටිනාකමක් නැති පූජක පිරිසකට හා ගිහි පිරිසකට නොවේ .

ඔවුන්ට ඒවා මාකට් කිරීමට ඇති  දේවල් පමණි. අනිත් අතට ඉතා දිගු  ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියූ  ,වර්තමානය වන විට  එම ප්‍රෞඩත්වය අමු අමුවේ විනාශ කර දමා ඇති  , ඇතැමුන් විසින්  " චීන හෝටලයක් වගේ පල්ලියක් " යැයි කියන තැනට පත්ව ඇති  , කිතුනු උරුමයන් ගැන වගේ වගක් නැති බෝලවත්තෙන් ලක්දිව කිතුනු අපට ඇති වටිනාම  කිතුනු උරුමය වන  ශු.  ජුසේවාස් පියතුමාගේ දේහය සොයා ගත්තොත් නං  එම  ශු. ධාතුවටත් " බඩු බනිස් "  ය .....

❤️✝️❤️

සටහන - සෙලාන් මධුසංඛ