රදගුරුවරය යනු

රදගුරුවරය  යනු

2004 දී රදගුරුතුමන්ලා පිළිබඳ වතිකාන සංසදය මගින් ප්‍රකාශයට පත් කළ Aposrolorum Successores නමැති රදගුරුතුමන්ලාගේ එඬේරික දූත සේවාව පිළිබඳ ප්‍රකාශනයේ ක්‍රිස්තු හා සභා අබිරහස රදගුරුතුමන්ගේ අනන්‍යතාවය හා සේවාව නමැති පළමු පරිච්ඡේදය ආරම්භ කරන්නේ පහත දැක්වෙන ශුද්ධ ලියවිලි පාඨ දෙක ඉදිරිපත් කරමිනි.

1. " මම යහපත් එඬේරා වෙමි; මම මාගේ බැටළුවන් හඳුනමි; ඔවුහු මා අඳුනති" - ජුවාම් 10:142. "නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. එවායින් බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතියන් දොළොස් දෙනාගේ නාම ලියා තිබුණි". (එළිදරව්ව 21:14)

මෙම ශුද්ධ ලියවිලි පාඨ රදගුරු අධ්‍යාත්මිකත්වය මනාසේ සාරංශගත කරයි. රදගුරු තුමකු රදගුරු අභිෂේක තුළින් ගුරුවරයෙකු, පූජකවරයෙකු හා එඬේරෙකු වශයෙන්ද පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද ත්‍රිත්වීය එකමුතුකමින් ජනතාව එකිනෙකා සමගද දෙවියන් වහන්සේ හා සමග ද ඉතා සමීප එකමුතුකමක් කරා යොමු කිරීමේ දූත සේවාව සඳහා රදගුරු නිලයට ආවේණික දූත සේවාවක් සඳහා විශේෂ කැඳවීමක් ලබයි.

එම නිසා දේව ප්‍රේමය තුළින් ජනතාව එනම් පවුලක් සේ එක් රැස් කරන්නට මෙලොවට පැමිණි ක්‍රිස්තුස් වහන්සේගේ යහපත්කම, සදාදරණී ස්නේහය, කරුණාව මෘදු බව හා අධිකාරිත්වය දෙවියන් වහන්සේගේ ත්‍රිත්වය තුළින් ශුද්ධාත්ම මගපෙන්වීමෙන් ප්‍රත්‍යක්ෂ කිරීම රදගුරුතුමා ගේ දේව කැඳවීමයි. එම නිසා මෙම ශුද්ධ වූ ත්‍රිත්වයේ ඒකත්වය තුළින් සභාව තුළ ඒකත්වය ගොඩනැංවීම රදගුරු අධ්‍යාත්මිකත්වයේ ඉතා වැදගත් අංගයකි.

ශුද්ධ ලියවිල්ල හා සභා සම්ප්‍රදායන් තුළ එඬේරා, ධීවරයා, පියා, සහෝදරයා, මිත්‍රයා, සනසන්නා, සේවකයා, ගුරුවරයා, නායකයා වැනි සංකල්පරූප මඟින් හඳුන්වාදෙන රදගුරු නිලය තුළ රදගුරුතුමා විශ්වාසයේ, අවබෝධයේ, බලාපොරොත්තුවේ කැපවීමේ කරුණාවේ එකමුතුකමේ හා සුහදතාවයේ පුද්ගලයෙකු විය යුතු බව රදගුරු දූත සේවාව ගැන සඳහන් කරන ඉහත සඳහන් ලේඛනය අවධාරණය කරයි.

මේ අතරින් ඉතා වැදගත් තැනක් ගන්නා එඬේරික සංකල්පරූපය රදගුරුනිලයේ අභිප්‍රාය, අරමුණ, විලාසය හා ධර්ම දූතික ස්වභාවය වඩාත් ගැඹුරින් විදහා දක්වයි.  යහපත් එඬේරාණන් ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ අනුරූපය; රද්ගුරුතුමා තම දූත සේවාවට දැක්විය යුතු පක්ෂපාතිත්වයත්, සභාව වෙත දැක්විය යුතු ප්‍රසන්න සමුල කැපවීමත්,  තමන්ගේ භාරයට කැපූ ජනතාව දෙවියන් වෙත යොමු කරවීමේ ප්‍රසාදයක් හා විසිරී ගියඋන් සාසනික එකමුතුව කෙරෙහි යොමු කිරීමේ සතුටත් රදගුරු දූත සේවාවේ දැකිය හැකි ප්‍රත්‍යක්ෂ සලකුණ විය යුතුය.

සේවය ලබන්නට නොව සේවය කරන්නට පැමිණි ක්‍රිස්තුස් වහන්සේ මෙන් රදගුරුතුමා ද යහපත් එඬේරාණන් වන ක්‍රිස්තුස් වහන්සේ තම රැළ වෙනුවෙන් දිවි පිදුවේ කෙසේද එලෙසම තම ජනතාවට ආත්ම පරිත්‍යාගයෙන් කැපවීම රදගුරු නිලයේ මූලික අභියෝගයයි. රදගුරු දූත සේවාවේ ඉටුකරමින් හා තමන්ගේ පුද්ගලික ජීවිත පැවැත්ම තුළින් රදගුරු තුමකු හැමවිට උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ හා ඒකාබද්ධ වෙමින් උන්වහන්සේගේ පූජකත්වයට සහභාගි වෙමින් ජනතාව පාරිශුද්ධත්වය කරා යොමු කිරීමටත් උන්වහන්සේගේ දිවැසි කාර්යයට සහභාගි වෙමින් ජනතාව දේව වචනය පිවිතුරුව ඉගැන්වීමටත්, උන්වහන්සේගේ රාජකීයත්වයට සහභාගි වෙමින් ජනතාවට සේවය (පාලනය) කිරීමටත්, එම සේවයන් යහපත් එඬේරාණන්ගේ ආදර්ශය තුළින් ක්‍රියාත්මක කිරීමටත් විශේෂ කැඳවීමක් ලබයි.

මේ සේවාව තුළ තමන්ගේ අධ්‍යාත්මිකත්වය දිනෙන් දින ගැඹුරු කර ගැනීමත් ජීවිත ආදර්ශය තුළින් මුළු වටපිටාවම ආලෝකවත් කිරීමත් සියලු බාධක හමුවේ දෙවියන් කෙරෙහි තබන්නා වූ අචල විශ්වාසය ආරක්ෂා කර ගැනීමත් නපුර අසාධාරණය ඉදිරියේ එඩිතරව නැගී සිටීමටත් රදගුරු තුමන් ගේ යුතුකම වෙයි. සභාව යනු දේව ජනතාව මෙන්ම ක්‍රිස්තු අභිරහස තුළ උන්වහන්සේගේ අති ඉන්ද්‍රිය දේහයද වේ. එමනිසා සභා සාමජිකයන් වන රදගුරු, පුජක, පැවිදි හා ගිහි යන හැම හැම පාර්ශ්වයක් ම අතිඉන්ද්‍රිය දේහයේ හිස වන ක්‍රිස්තුස් වහන්සේ සමඟ ප්‍රසාද ස්නාපනය තුළින් එකිනෙකා හා අන්‍යෝන්‍යව ඒකාබද්ධ වෙති.

මේ හැම කෙනෙක්ම ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වශයෙන් දේව දරුකම නිදහස ලබා ඇත්තෝය. ඔවුන්ගේ නීතිය නව ගිවිසුමේ ප්‍රේමයෙ නීතිය වන අතර මෙලොව දැනටමත් ස්ථාපිත කොට ඇති දේවරාජ්‍යය සාමූහිකව ගොඩ නැගීමය. එම නිසා තමන්ගේ භාරයට පැවරි ඇති සභාව තුළ රදගුරුතුමා සෑම කෙනෙක්වම ප්‍රේමයේ බැම්මෙන් අන්‍යොනව එකිනෙකා හා ඒකාබද්ධ කළ යුතු අතර එතුමා ද මේ හැම කෙනෙක් සමගම,  දේව සෙනෙහසින් වැළඳ ගැනීමට හැකි සබඳතාවක් ගොඩනඟා ගත යුතුය. එබැවින් රදගුරුතුමා තම පදවියේ එකමුතුකමේ ජීවමාන සංඛේතයයි.

එකිනෙකා තුළ දැකිය හැකි විවිධත්වය තුළින් එකමුතුකම ගොඩ නැගීමත් සුවිශේෂීය වටිනාකම් පදනම් කරගත් සුවඳතාවයේ සංඝයක් ගොඩනැගීමත්, වන්දනාකාර දේව ජනතාව සාමූහිකව දේවරාජ්‍යය කරා යොමු කරවීම රදගුරු දුත කාර්‍යේ මූලික වගකීමක් වෙයි. එසේ තමන්ගේ ප දිවිය තුළ එකමුතුකම තුළින් ප්‍රේමය හා සහජීවනයේ සංඝයක් ගොඩනැගීමට දායක වන රදගුරුතුමා සෙසු සහෝදර රදගුරු මඬුල්ල සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරීම මගින් විශ්ව සභාවේ එකමුතුකම ගොඩ නැගීමට හැකි හැමවිටම උත්සුක විය යුතුයි.

ප්‍රායෝගිකව හුදෙක් ඒකමතිකත්වය නොව, ක්‍රිස්තු ශ්‍රාවකත්වය තුළින් පැන නගින ප්‍රේමණීය එකමුතුකමයි. මෙම එකමුතුකම ධර්ම දානය උත්සාහයන්ට සහාය වීමෙන් අන්තර්-ආගමික සුහඳතාවය ගොඩනැගීමෙන් ජාතික හා අන්තර්ජාතික ප්‍රශ්න වලට සංවේදී වීමෙන් හා විශේෂයෙන් ප්‍රදේශයක හෝ රටක රදගුරු සම්මේලනය සුහදව හා කාර්යක්ෂමව ක්‍රියා කිරීමෙන් රදගුරුතුමන්ලා ට ක්‍රියාත්මක කළ හැක.

| Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ |