නත්තලේ උපත - පළමු කොටස

නත්තලේ උපත - පළමු කොටස

සාමාන්‍යයෙන් ආගමන කාලය පටන්ගන්නවත් එක්කම මුහුණු පොතේ උඩට පහලට යන එන අපි හැමෝම දැකල තියෙන පින්තුරයක් තමයි මම මේ මුලින්ම අමුණලා තියෙන්නේ. ආගමන මල්කළඹ (Advent wreath) එක සහ කටු ඔටුන්නක එකතුවක් එක්ක “ This is the season; this is the reason” වැනි ලස්සන වාක්‍ය ඛණ්ඩ දෙකකුත් මේ පින්තුරයේ සඳහන් වෙනවා. මේ ලිපිය මම මෙන්න මේ පින්තුරයෙන් පටන්ගන්නම්. සරලවම ගත්තොත් මේ පින්තුරේ හරිම තේරුම අපි දන්නවද? කතෝලිකයන් විදිහට ජනවන්දනා වර්ෂයේ උතුම්ම මංගල්‍යයන් ද්විත්වය වන නත්තලයි පාස්කු මංගල්‍යයයි එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියල තව කෙනෙක්ට කියල දෙන්න අපිට පුළුවන්ද? නැතිනම් චතාරික කාලය තියෙන නිසා පාස්කු මංගල්‍යයට නම් බොහොම ගාම්භීරව සුදානම් වෙන අපි වර්තමාන සමාජය තුල විශාල ලෙස වානිජකරණයකට ලක්වෙලා තියෙන නත්තල් මංගල්‍යය සහ ඊට  සුදානම් වන ආගමන කාලය හුදෙක්ම තවත් එක සැමරුමක් විදිහට කරන්නන් වාලේ කරනවද  කියන දේ තීරණය කරන්නට  නත්තලේ සුලමුල, නත්තල් මංගල්‍යයේ ඉතිහාස කතාව පිළිබඳ  අවබෝධයක් ලබාගන්නට උපකාරී වෙන විදිහට මේ ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නම්.

“ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.” යනුවෙන් හෙබ්‍රව්වරුන්ට යවන ලද ලිපියේ 13: 8 වගන්තිය පිළිබඳ අදහස් දක්වන දහසයවන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් පවසා සිටින්නේ “ මෙසේ  සාක්ෂි දරන්නේ ජේසුස් වහන්සේ ජීවත්ව සිටි කාලයේ උන්වහසේ හඳුනාගත් අය මෙන්ම උන්වහසේගේ උත්ථානයෙන් පසු උන්වහසේ දුටු අය ය. මෙහි තේරුම වන්නේ ‘වර්තමානයේ’  අපට නිවැරදිව ජේසුස් ක්‍රිස්තුස්  වහසේව දැකගත හැකිවන්නේ ‘අතීතයේ’ ක්‍රිස්තුස් වහන්සේ තුලින් සහ අතීතයේ සහ වර්තමානයේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් සදාකාලික ක්‍රිස්තුස් වහ්සේ දැකීම යන අංගයන් ඒකාබද්ධ කිරීමක් තුලිනි. කාලයෙහි මානයන් ත්‍රිත්වය මෙන්ම කාලයෙන් ඔබ්බට යාම එනම් සමගාමීව එහි සම්භවය සහ අනාගතය යන දෙකම සෑම විටම ක්‍රිස්තුස් වහන්සේ හමුවීමේ කොටසකි. “This was the profession of those who had known Jesus on earth and had seen the Risen One. This means that we cans see Jesus Christ correctly today only if we understand him in the union with the Christ of “yesterday” and see in the Christ of yesterday and today the eternal Christ.  The three dimensions of time as well as going beyond time into that which is simultaneously its origin and future are always a part of the encounter with Christ.”(Joseph Cardinal Ratzinger, A New Song for the Lord: faith in Christ and Liturgy Today, trans. Martha M. Matesich, 1997.)

ඉතින් මෙන්න මේ වගේ පැහැදිළි අරමුණකුත් එක්ක නත්තල් මංගල්‍යයේ සුලමුල හොයාගෙන යමු.

පසුබිම

ශු. බයිබලයේ නවගිවිසුමේ මුලිකවම ජේසුස් වහන්සේගේ උපත ගැන අපිට දැනගන්න ලැබෙන්නේ ශු. මතෙව් සහ ශු. ලූක් සුවිශේෂ වල සඳහන් වෙන ජේසුස් වහන්සේගේ උත්පත්තිය පිළිබඳ කතන්දර වලින්. මේ කතන්දර එහෙමත් නැත්තම් මේ නව ගිවිසුමේ සුවිශේෂ බයිබල් විශාරදයන් සඳහන් කරන ආකාරයට ඓතිහාසික කියන ගණයට වඩා දේව ධාර්මික (theological) පදනමකින් සම්පාදනය වෙච්ච කතන්දර හැටියට තමයි වඩා නිවැරදිව අර්ථ දක්වන්න පුළුවන්. මෙහෙම කිව්ව පමණින්ම ගොඩක් අය කියන්න පුළුවන් “අපෝ ඕකනේ කියන්නේ ඕවා හදපු කතානේ කියල.” ඔව් හදපු කතා වෙච්ච පමණින් මේවයේ ඓතිහාසික කරුණු නැහැ කියල අයින් කරන්න බැහැ කියලත් තේරුම් ගන්නනම් ටිකක් පැහැදිලිව කියවල බැලුවොත් පුළුවන් වෙයි. තවත් සරල කරලා කිව්වොත් මේ ශු. සුවිශේෂ ලියවෙන්නේ ජේසුස් වහන්සේගේ පාස්කු අභිරහස කේන්ද්‍ර කරගෙන. ඉතින් අපි සාමාන්යෙන් දන්න කාලානුක්‍රමික එහෙමත් නැත්තම් රේඛාවක් වගේ ගලාගෙන එන කතාවකට වඩා වෙනස් විදිහට ජේසුස් වහන්සේගේ පාස්කු අභිරහසේ ඉදන් ආපස්සට යෑමක් විදිහට තමයි ශු. සුවිශේෂ ලියවෙන්නේ. මේක වෙන්න හේතුව තමයි මුල් කිතුනු සභාවට වඩාත්ම සමීප ඓතිහාසික සිදුවීම ක්‍රිස්තුස්වහන්සේගේ පාස්කු අභිරහස. උත්ථානවූ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය ඔස්සේ තමයි ඔවුන් කාලයේ ආපස්සට ගිහින් ඓතිහාසික ජේසුස් වහන්සේ ගැන කරුණු එක්රැස් කරන්න පටන් ගන්නේ. ඉතින් මේ ශු. සුවිශේෂ රචනා කිරීමේදී  ඓතිහාසික කරුණු එකින් එක ක්‍රමවත්ව පෙළ ගැස්වීමක් හෝ චරිතාපදාන මුහුණුවරකට වඩා අරමුණු කරගත් පාඨකයින් සමුහයකට සරිලන දේව ධාර්මික පණිවිඩයක් ඉදිරිපත් කිරීමට තමයි සුවිශේෂකවරුන් මුලිකවම අරමුණු කරගෙන තියෙන්නේ. මේ විදිහට සුවිශේෂ සම්පාදනය කරද්දී ජේසුගේ උපත වගේ සංසිද්ධියක න්‍යායාත්මකව නිවැරදිම දිනය දැනගන්නට පුළුවන් එකම නිවැරදිම මුලාශ්‍රය වෙන්නේ කන්‍යා මරිය තුමියයි. මොකද ශු. ජුසේතුමා මෙවනකොටත් (ජේසුස් වහන්සේ ජීවත්ව සිටි කාලය වනකොටත් ) මියගොස් සිටි නිසා සහ ජුදෙව් හෝ රෝමානු සංගණන වල ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව පැහැදිළි තොරතුරක් සඳහන් වීමට නොහැකි නිසා. තවත් විශේෂ කාරණයක් තමයි සභා පිය යුගයේ වැදගත් විද්වතෙක් වන ඇලෙක්සන්ද්‍රියාවේ ඔරිජන් උපන්දින සැමරුම් පිළිබඳව ප්‍රබල විරෝධතාවක් මතු කරමින් ප්‍රකාශ කර සිටින්නේ ශු. බයිබලය තුල පාරාවෝ වැනි අන්‍යාගමිකයින් එහෙමත් නැත්තම් හෙරෝද් ඇන්ටිපස්  වැනි රෝම අධිරාජ්‍යයට ලැදි  පාපිෂ්ට ජුදෙව් රුකඩ පාලකයින් උපන්දින උත්සව සමරා ඇති බවත් හෙරෝද්ගේ උපන්දින උත්සවය නිසා ස්නාවක ජුවම්තුමාගේ හිස ගසා දැමීම හේතුවෙන් කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේගේ හෝ ශු.බයිබලයේ සඳහන් වෙනත් කිසියම් පුද්ගලයෙකුගේ උපන්දින සැමරීම සිදු නොකළ යුතු බවයි.

වර්ෂය පිළිබඳ ගැටලුව

මේවගේ පසුබිමක ජේසුස් වහන්සේ ඉපදුන නිවැරදි වර්ෂය සොයාගැනීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් වී ඇති බව දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම කිතු දහම වැළඳගත් විශාල කණ්ඩායමක් ජුදෙව් නොවන විජාතිකයන් වීම නිසා ඔවුන්ට වඩා සමීප වන්නට ඇත්තේ ජුදා (චන්ද්‍ර)දිනදර්ශකයද නැතිනම් රෝමානු (ජුලියන්) (සුර්ය)දිනදර්ශකයද පිළිබඳව ගැටළුවක් මතුවෙනවා. ඒ වගේම  ශු. සුවිශේෂ වලින් පැහැදිලිව මෙන්න මේ වර්ෂයේ මේ දවසේ කියල සදහනක් නැති නිසා සහ ක්‍රිස්තුවර්ෂ 0 එහෙමත් නැත්තම් කාලය රේඛාවක් වගේ අරගෙන ක්‍රිස්තු පුර්ව සහ ක්‍රිස්තු වර්ෂ බෙදෙන්නේ හරියටම මෙන්න මෙතනින් කියන්න නිවැරදිම බෙදුම් ලක්ෂයක් සොයාගන්න බැරි කම නිසා. ජේසුස් වහන්සේගේ උත්පත්ති කතා වල සඳහන් වෙන හෙරෝද් රජුගේ මරණය පිළිබඳව ඓතිහාසික සාක්ෂි ගවේෂණය කිරීමේදී ක්‍රි.පූ.4 හෝ 4-6 යන වර්ෂ දෙකක් ඇතුලත කාලය පිළිබඳව බයිබල් විශාරදයන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. එතකොට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි ක්‍රිස්තුස් වහන්සේ කොහොමද ක්‍රිස්තු පුර්ව වර්ෂයක උපදින්නේ ? සරල පිළිතුර තමයි ක්‍රිස්තු පුර්ව සහ ක්‍රිස්තු වර්ෂ කියල දිනදර්ශකය නිර්මාණය කළ පුද්ගලයා අතින් සිදුවෙච්ච වරදක් නිසා. මේ වරද ඔහු හිතාමතා කළ දෙයකට වඩා නොදැනුවත්ව වෙච්ච දෙයක් විදිහට තමයි තේරුම්ගන්න පුළුවන්. දියෝනීශියස් එක්සිගූස් (Dionysius Exiguus) කියන තාපසවරයා ක්‍රි.ව. 500 දී පමණ ක්‍රිස්තුස් වහන්සේගේ උපත (ක්‍රිස්තු වර්ෂ නැතිනම් Anno Domini භාවිතා කරමින්) පදනම් කරගෙන නව දිනදර්ශකයක් නිර්මාණය කරන්නට යෙදිලා තියෙනවා. ඉතින් මොහුගේ ගණනය කිරීම් වලට  අනුව ජේසුස් වහන්සේ ඉපදිලා තියෙන්නේ රෝම නගරය බිහිවීමෙන් අවුරුදු 754කට එහෙමත් නැත්නම් අද අපි හිතන ක්‍රිස්තු වර්ෂ 1 කියන වර්ෂයේ දී. නමුත් පසුකාලින විද්වතුන්, විශේෂයෙන්ම දහඅටවන ශතවර්ෂයේදී, රෝම සහ ජුදෙව් ඉතිහාස කාලානුක්‍රමිකව හැදෑරීමෙන් අනතුරුව හොයාගන්නවා හෙරෝද් රජු මියයන්නේ ක්‍රි.පූ. 4 වර්ෂයේ දී කියන කාරණය සහ ඒ අනුව දියෝනිශියස්ගේ ගණනය කිරීම දෝෂ සහගත බව. (ක්‍රි.ව. 500 දී වගේ කාල වකවානුවක  මේ වගේ බැරෑරුම් ගණනය කිරීමක් කරලා අවුරුදු 4ක් වගේ සුළු දෝෂයක් පමණක් තිබීම පවා විශාල ජයග්‍රහණයක් වෙන්නට ඇති.)

ක්‍රිස්තුස් වහන්සේ උපන් දිනය සහ පාස්කුව

මම ලිපිය ආරම්භ කරපු පින්තුරය මේ ඉතිහාස කතාවට සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනින්. නත්තල් දිනය තීරණය කරන්න පාස්කුව වෙත යොමු වීම ටිකක් තේරුම් ගන්න අමාරු උනාට මේ මංගල්‍ය දෙකම දින නිර්ණය කිරීම අතින් ගොඩක් එකිනෙකට සම්බන්ධ වෙනවා. මොකද පළමු ශතවර්ෂයේ මුල් කිතුනුවන් කියල අපි හදුන්වන්නේ ජුදෙව් දහම පිළිපදින එහෙත්  ක්‍රිස්තුස් වහසේව  අනුගමනය කරන කණ්ඩායමක් නිසා ජුදෙව්වන් විදිහට ඔවුන්ට හුරුපුරුදු පාස්කුව කිතුනුවන් වූ පසුවත් ඔවුන් සමරන්නට යෙදිලා තියෙනවා. නමුත් දෙවන ශතවර්ෂයේ මද භාගය වෙනකොට මේ කිතුනුවන් කියන කණ්ඩායම ඇතුලේ ජුදෙව්වන් නොවන විජාතිකයින් ගණනින් වැඩිවීමක් වෙන නිසා ඔවුන් ජුදෙව්වන්ගේ ‘සබත්’දවස වැනි සැමරීම් ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම කේන්ද්‍ර කරගෙන සබත් දවසින් පසු දිනය එනම් ‘අටවෙනි දවස’ සතිපතා සමරන්නට යෙදෙනවා. නමුත් වාර්ෂිකව මෙම ‘පාස්කු ඉරිදාව’ එනම් ජේසුස් වහන්සේගේ විජයග්‍රාහී උත්ථානය සැමරීමට නියමිත දිනයක් සොයාගැනීමට නොහැකි වීම නිසා ගැලපෙන ක්‍රිස්තියානි ගණනය කිරීමේ සුත්‍රයකට අනුව වර්තමානය වනතෙක් අප භාවිතා කරන්නේ මාර්තු සහ අප්‍රේල් අතර සති හයක් අතර දෝලනය වන පාස්කු දිනයක් තෝරාගැනීම මතයි. මෙන්න මේ ආකාරයටම පසු කලෙක  කිතුනුවන්  ක්‍රිස්තූත්පත්තිය සඳහාත් නිවැරදි දිනයක් සොයාගැනීමට අපහසු වීම හේතුවෙන් මෙවැනිම ගණනය කිරීමේ සුත්‍රයක් භාවිත කරමින් නත්තල් දිනය සැමරීම ආරම්භ කරනවා.

නත්තලේ  දිනය සහ ඥානවාදීන් (Gnostics)

ඇලෙක්සන්ද්‍රියාවේ ක්ලෙමන්ට් තුමා සඳහන් කරන අන්දමට ඊජිප්තුවේ සිටි ඥානවාදී කිතුනුවන් කිතු තුමන්ගේ උපත සඳහා දිනයක් තෝරාගැනීමට උත්සහ දරා තිබෙනවා. සම්ප්‍රදායික කිතුනුවන් අතර වැඩි වශයෙන් භාවිත කෙරුණු ශු. පාවුළු තුමාගේ ලිපි වල කේන්ද්‍රීය අදහසක් වෙනනේ  ක්‍රිස්තුස් වහනේගේ දුක්විඳිම සහ මරණය තුල ලෝකයට මිදීම ලැබීම යන දේව ධාර්මික සංකල්පයයි. මෙයට පරිබාහිර වෙනස් වූ අදහසක් දරන මෙම ඥානවාදින්, ප්ලේටෝගේ දාර්ශනික අදහස් වලට නැඹුරුතාවයක් ද දක්වමින්, ක්‍රිස්තුස් වහන්සේගේ උපත මගින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් නික්මෙන බව  මනුෂ්‍ය වර්ගයා හට ප්‍රත්‍යක්ෂවිමක් (ග්‍රීක භාෂාවෙන් Epiphaneia) සිදුවූ බැවින් එම සංසිද්ධිය  වඩා වැදගත් යයි සලකනු ලැබුවා. තවත් ඥානවාදින් කණ්ඩායමක් ජේසුස් වහන්සේ ස්නාවක ජුවාම් අතින් බව්තිස්මය ලබා ගැනීමේ අවස්ථාවේදී පියාණන් වහන්සේ මගින් තෝරාගැනීම සිදුවුවා යයි සලකා එම සංසිද්ධිය කලින් සඳහන් කළ  ප්‍රත්‍යක්ෂ වීම ලෙස සැලකුවා. ඒ වගේම තවත් කණ්ඩායමක් ජුවාම් සුවිශේෂයේ සඳහන් පරිදි කානා හි සරණ මංගල්‍යය හා එහිදී ජේසුස් වහන්සේ සිදු කළ  පළමු හාස්කම වන ජලය මිදියුෂට හැරවීම උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ වීම ලෙස සලකනු ලැබුවා. තවත් ආකාරයකට, අද අප සමරන්නට යෙදෙන රජුන්ට ප්‍රත්‍යක්ෂ වීම එසේ නැතිනම් ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම මගින් ගැලවුම්කරුවාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීම නත්තල් දිනය ලෙස තෝරාගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසී තිබුනා. -මෙහිදී  විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය තමයි වර්තමානයේ අප සමරන ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය දින යාම යැදුමේ මරිය උදාන ගීය සඳහා භාවිතා වන antiphon හි ඉහත සඳහන් ප්‍රත්‍යක්ෂ වීම් ත්‍රිත්වයම ඇතුළත් කර තිබෙන්නේ මෙලෙසිනි : Three mysteries mark this holy day: today the star leads the Magi to the infant Christ; today water is changed into wine for the wedding feast; today Christ wills to be baptized by John in the river Jordan to bring us salvation.-

තවදුරටත් ඇලෙක්සන්ද්‍රියාවේ ක්ලෙමන්ට් තුමා ඊජිප්තුවේ ඥානවාදින් පිළිබඳව සඳහන් කිරීමේදී, විශේෂයෙන් බැසිලිඩියන් (Basilidean Gnostics) ඥානවාදින්  කණ්ඩායම  ජේසුස් වහන්සේගේ බව්තිස්ම මංගල්‍යය උත්සවාකාරයෙන් සමරන බවත් එම දිනයට පෙර රාත්‍රියද එසේ සමරනු ලබන බව සඳහන් කරයි. ඊජිප්තු දින දර්ශකයට අනුව මෙය සමරා ඇත්තේ තුබී නමැති මාසයේ එකොලොස්වන දිනයේදී වන අතර වර්තමාන දින දර්ශකයන් හි මෙම දිනය වන්නේ ජනවාරි 6 වන දිනයයි එනම් බොහෝ කිතුනුවන් සමරන ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය යෙදෙන දිනය නැතිනම් පෙරදිග මධ්‍යධරණී ප්‍රදේශ වල පෞරාණික කිතුනුවන් සමරන නත්තල් දිනයයි. මෙම කණ්ඩායම විශ්වාස කළ ආකාරයට ජේසුස් වහන්සේගේ බව්තිස්ම දිනය සමරා ඇත්තේ උන්වහන්සේගේ උපන්දිනයෙන් හරියටම වසර 30කට පසුව බැවින් උන්වහන්සේගේ උපතද එම දිනයේම සිදුවූ බව හා ඒ අනුව ජනවාරි 6 දිනය නත්තල් දිනය ලෙස නැතහොත් ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යයේ එක් මුහුණුවරක් ආරම්භ වී ඇත්තේ මෙලෙසිනි. ඉතින් මේ ආකාරයට තමයි අපට පළමු වතාවට නත්තල් මංගල්‍යය සඳහා නියමිත දිනයක් තෝරා ගැනීම පිළිබඳ ඓතිහාසික සාක්ෂිය හමුවන්නේ.  තවත් අතකින් හතරවන සියවසේ සිප්රියාවේ රදගුරුවරයෙක් වූ එපිෆානස් පෙන්වාදෙන අයුරින්  ඊජිප්තුවේ පැවති අන්‍යාගමික උත්සවයක් වුණු කොර්ර් දෙවඟනගේ සහ ඇයගේ දියණිය වූ අයෝන් දෙවඟනගේ උපන්දින උත්සවයට ප්‍රතිවාදී උත්සවයක් ලෙසින් ඊජිප්තුවේ කිතුනු ඥානවාදින් ජනවාරි 6 දින  සැමරීමක් සිදුකරන්නට ඇති බව උපකල්පනය කළ හැකි වුවත් තුන්වන ශතවර්ෂයේ පටන්ම මෙම දිනය දෝෂ සහගත බවට කරුණු දැක්වීම් සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම උතුරු අප්‍රිකාවේ සහ අනෙකුත් ප්‍රදේශ වල  කිතුනු විශාරදයින් ඊජිප්තුවරුන්ගේ මෙම දිනය පිළි ගැනීමට මැලිකමක් දක්වා තිබෙනවා. ඒ වෙනුවට ශු. සුවිශේෂ සියල්ලේම සඳහන් කරුණක් වන ජේසුස් වහන්සේ මිය ගිය දිනය ජුදා පාස්කු මංගල්‍යය යෙදෙන කාලය තුලදී සිදුවූ බව මත පදනම් වී  ජේසුස් වහන්සේ මිය ගිය දිනය සහ ඒ ඇසුරින් උන්වහන්සේගේ උපන් දිනය සඳහා මාර්තු 25  දිනය තෝරාගැනීම වඩා සුදුසු බවට එකඟත්වයක් පළ කොට තිබෙනවා.

මාර්තු 25 විශේෂත්වය කුමක්ද? නත්තල් මංගල්‍යය මාර්තු 25 සිට දෙසැම්බර් 25 වුයේ කෙස්ද? සංකේතාත්මක දින නියම කිරීම, ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය ස්ථාපිත වීම, ආගමන සමය  සහ නත්තල් අෂ්ටකය හෙවත් Christmas octave සහ නත්තල් සමය නිර්මාණය වී ඇත්තේ කෙසේද කියන කාරණය මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න…

සටහන ~ ඩොම්. කෝකිල ප්‍රනාන්දු සා.බෙ.නි. සහෝදරතුමා