අග්‍ර දේවදූතයන්

අග්‍ර දේවදූතයන්
Photo by Lukas Meier / Unsplash

දේවදූතයන් ගැන සඳහන් කිරීමේදී විශේෂයෙන් දේවදූතයන් අපට ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එනම් දේව දූතයින් සහ අග්‍ර දේව දුතයින් ය. ග්‍රීක බසින් 'arch' යන්නෙන් අදහස් කරන්නේ පාලනය කිරීම හෝ ප්‍රධානියා යන්න ය. අග්‍ර දේවදූතයන් සංඛ්‍යාව නිශ්චිතව නොදන්නා නමුත් බොහෝ සම්ප්‍රදායන් හා විශ්වාසයන්හි අග්‍ර දේවදූතයන් හත් දෙනෙකු ගැන සඳහන් වේ. මේ හත්දෙනා කවුරුන්ද යන්න ද විවාදයේ ඇති කරුනකි. ජීවිතයේ බොහෝ අභියෝගාත්මක අවස්ථාවන්හිදී මැදිහත් වී, සුව කරන්නන් හා මඟ පෙන්වන්නන් වශයෙන් අග්‍ර දේවදූතයන්ට ඇති විශිෂ්ඨ හැකියාවන් ගැන බොහෝ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වේ. සුප්‍රසිද්ධ අග්‍ර දේවදූතයන් හත් දෙනෙකු ගැන අපට පැහැදිලි සාදක ශුද්ධ ලියවිලි වල හා ශුද්ධවු සභා සම්ප්‍රදාය තුළ හමුවේ.

අග්‍රදූත ශුද්ධවූ  මිඛායෙල්  තුමා.

අග්‍රදුත මිඛායෙල් යන්නෙහි අර්ථය නම්   ‘දෙවියන් වහන්සේට සමාන තැනැත්තා’ යන්නයි, බොහෝ විට සැලකෙන්නේ ආරක්‍ෂක දේවදූතයා සහ සියලු දේවදූතයන්ගෙන් බලවත්ම තැනැත්තා ලෙස ය. එතුමන් දේවදූතයන්ගේ නායකයෙකු ලෙසත් ධර්මිෂ්ඨකම, දයාව සහ යුක්තිය පිළිබඳ දේව දූතයෙකු ලෙසත් සැලකේ. එනිසාම, ශාස්ත‍්‍රීය කලා කෘති මඟින් එතුමන්ව බොහෝ විට කඩුවක් රැගෙන යන රණශූරයෙකු ලෙස නිරූපනය කෙරේ. ඔබේ ආරක්‍ෂාව ගැන ඔබ බිය වන, ව්‍යාකූල වන හෝ කනස්සල්ලට පත් වන අවස්ථාවන්ට අග්‍රදුත මිඛායෙල් තුමන් සහය වේ. එතුමන් බිය සහ සැකය දුරු කිරීමට උදව් කරන අතර ජීවිතය වෙනස් කිරීමට අපට සහයෝගය ලබා දෙයි. බොහෝ විට සුව කිරීමේ කාර්යයන්හි නිරත වන අය සමඟ හා අධ්‍යාත්මික ඉගැන්වීම් ලබා දෙන අය සමඟ සමීපව කටයුතු කරන බව කියවේ. එතුමන්ට යාන්ත්‍රික හා විදුලි ගැටලු පවා විසඳුම් ලබා දිමෙහි විශේෂ හැකියාවක් ඇත.

අග්‍රදූත ශුද්ධවූ  රෆායෙල් තුමා.

අග්‍රදූත රෆායෙල් යන නමේ තේරුම නම් දෙවියන් වහන්සේ විසින් සුව කරයි යන්නයි, එතුමන් ශාරීරික හා චිත්තවේගී සුවය සඳහා නම් කරන ලද අග්‍රදූතයා ය. හෙබ්‍රෙව් බසින් "රෝප්" යන වචනයේ තේරුම "සුව කිරීම" යන්නයි. අග්‍රදූත රෆායෙල් තුමන් පුද්ගලයන් සුව කිරීමට පමණක් නොව සුව කරන්නන්ගේ සුව කිරීමේ හැකියාවට ද උපකාරී වේ. ඇබ්බැහි වීම් සහ තෘෂ්ණාව අඩු කිරීමට එතුමන් උපකාර කරන අතර සෙසු තුවාල සහ රෝගි තත්වයන් සුව කිරීමේහි ඉතා බලගතුවේ. අග්‍රදූත රෆායෙල් තුමන් සමගිය හා සාමය ප්‍රතිස්ථාපනය කිරීමට සහ පවත්වා ගැනීමට උපකාරී වේ. ඔහු සංචාරකයින්ගේ නාම සාන්තුවරයා ද වන අතර ආරක්ෂිත හා සුහද ගමනක් සහතික කිරීම සඳහා ඒ අය දෙස බලා සිටී. අග්‍ර දේවදූත  මිඛායෙල් තුමන් සමඟ එක්ව වැඩ කිරීමෙන් අග්‍රදූත රෆායෙල් තුමන් අපගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බිය සහ මානසික ආතතිය දුරු කිරීමට උපකාරී වේ.

අග්‍රදූත ශුද්ධවු ගාබ්‍රියෙල් තුමන්

අග්‍රදූත ගාබ්‍රියෙල් යන්නෙහි තේරුම "දෙවියන් වහන්සේ මාගේ ශක්තිය" යන්නයි. පෑරණි හා නව ගිවිසුමේ බයිබලයේ විශේෂයෙන් නම් කර ඇති අග්‍රදූතයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන අතර එතුමන් නිතරම හොරණෑවක් අතැතිව සිටින එකම අග්‍රදූත තුමන් ලෙස නිරූපනය කෙරේ. සන්නිවේදනයේ අනුග්‍රහකයා වශයෙන්, අග්‍රදූත ගාබ්‍රියෙල් යනු දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවෙකු ලෙස කටයුතු  කරන අග්‍රදූතයා ය. ලේඛකයින්ට, ගුරුවරුන්ට, මාධ්‍යවේදීන්ට සහ කලාකරුවන්ට ඔවුන්ගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට සහ විශ්වාසය සොයා ගැනීමට සහ ඔවුන්ගේ කුසලතා වැඩි වර්ධනය කිරීමට එතුමන් සහය වේ. සන්නිවේදනයේදී මෙන්ම දරුවන් සම්බන්ධ , පිළිසිඳ ගැනීම් ගර්භණීභාවය, දරු ප්‍රසූතිය සහ දරුවන් ඇති දැඩි කිරීමේදී බිය සහ දරු ප්‍රසුතිය ප්‍රමාද වීමේ ගැටලු මඟහරවා ගැනීමටද එතුමන් සහාය වේ.

සැකසුම: ප්‍රවීන් අකලංක සහෝදර තුමා.