ධර්මයාණෝ හා පිළිතුරුවේදය

ධර්මයාණෝ හා පිළිතුරුවේදය
Photo by Sunguk Kim / Unsplash

ඇත්තටම මම මේ ලිපිය ලියන්න හිතුවේ, ශුද්ධ බයිබලීය වචනයේ බලය ගැන උද්‍යෝගයක් ඔබ සියල්ලන් තුළ ඇති කරනු පිණිසත් ප්‍රතිඋත්තරවේදයේ ගැඹුරුකම ඔබට පැහැදිලි කරනු පිණිසත් ය. සමහරවිට අපි ශුද්ධ බයිබලය නිතර කියවනවා වෙන්න පුළුවන් හෝ නොවෙනවා වෙන්න පුළුවන් නමුත් , අපි දැනගත යුතු ප්‍රධාන දෙය නම් කතෝලිකයෙකු-ක්‍රිස්තියානියෙකු ලෙස , අප ශුද්ධ බයිබලය පරිහරණය නොකරන්නේ නම් හෝ ශුද්ධ බයිබලයේ බලය අත්දැක නැත්තම් ඔහු ගඟට කැපූ ඉන්නක් මෙන් හෝ ඊටත් වඩා අන්ත ලෙස නිෂ්ඵල පුද්ගලයෙකි. ඔබ මෙම ලිපිය අවසානය දක්වා කියවීම ම දෙවියන් වහන්සේ ඔබවම අවදි කරවීමක් විය හැක.

✝️❤️ ධර්මයාණන්ගේ වචනයේ බලය ❤️✝️
✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚

🔥 දෙවියන් වහන්සේ විශ්වය මැවීමේදී , " ආලෝකය වේවා " , ලෙස පැවසූ සේක , එවිටම එසේ විය. එනම් , දෙවියන් වහන්සේගේ වචනයට ආරම්භයේ සිටම තිබූ අසීමිත බල පරාක්‍රමය අපට උන්වහන්සේම හෙළි කළ සේක.

🔥 පෞද්ගලිකව මම ද , ඔබ ද , උන්වහන්සේගේ මෙම වචනයේ බලයෙන් නිර්මාණය වූවන් ය. එබැවින් , ශුද්ධ ත්‍රිත්වික දෙවියන් වහන්සේ ශුද්ධ බයිබලය , එනම් , ධර්මයාණෝ හරහා අපට නිරන්තරයෙන්ම අනාවරණට වන්නාහ.

🔥 පුරාණ ගිවිසුමේ දී , දෙවියන් වහන්සේ , උන්වහන්සේගේ වචනය යවන ලද්දේ , ආදීපීතෲවරුන් , දිවැසිවරුන් හා උන්වහන්සේම තෝරාගත් නායකයන් විසිනි , උන්වහන්සේගේ වචනය තුළ මහත් දේ සිදුවිය. නික්මයාම පොතෙහි සඳහන් වන ලෙස , මොසෙස් තෝරාගැනීමේ දී , " ඔබගේ සැරයටිය බිම දමන්නැයි ' දෙවියන් වහන්සේ කී විට එය සර්පයෙකු විය " , දෙවියන් වහන්සේගේ වචනය , ස්වාභාව ධර්මය අභිබවා යන්නේය.

🔥 ශුද්ධ බයිබලය යනූ , ධර්මයාණන් වහන්සේ අපට අනාවරණය වන ප්‍රධානතම මූලාශ්‍රයයි. කෙටියන්ම කිවහොත් , ශුද්ධ බයිබල තුළ වැඩසිටින්නේ , ජීවමාන දෙවියන් වහන්සේමයි , උන්වහන්සේගේ ප්‍රකාශවීම , වචනය හරහා අප වෙතට පැමිණෙන්නේ අද්විතීය හා වචනයෙන් විස්තර කළ නොහැකි , ගාම්භීර හැඟීම් අප තුළ තැම්පත් කරමිනි.

✝️❤️ නව ගිවිසුම තුළ ධර්මයාණෝ ❤️✝️
✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚

🔥 " ආරම්භයේ දී, ධර්මයාණෝ සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක. උන් වහන්සේ තුළ ජීවය විය;
ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය. "
( ශු. ජොහාන්  1 : 1 - 4 )

ශුද්ධ වූ ජොහාන් තුමාගේ ලියවිල්ලට අනුව හා අපගේ පරම විශ්වාසයට අනුව , ජේසුස් වහන්සේ , දෙවියන් වහන්සේ තුළ එකම භවත්වයකින් තුළ වැඩ සිටින සේක , උන්වහන්සේගේ එම ධර්මයාණන් වහන්සේට අහියෝග කළ හැකි කිසිවෙකු මේ ලෝකය තුළ නැත.

🔥 " පුත්‍රයාණන් තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි."
( ශු. ජොහාන්  14:13 )

ජේසුස් යන නාමයේ , අනූපමේය බලය උන්වහන්සේ , උන්වහන්සේම ප්‍රකාශ කළ සේක. එනම්, ජේසුස් වහන්සේගේ නාමය තුළ , කළ නොහැකි කිසිවක් නැත්තේය. එබැවින් උන්වහන්සේගේ නාමය තුළ අප සියල්ලෝම ඒකත්වයක් වන පිණිස ද , උන්වහන්සේගේ නාමය තුළ සියල්ලෝම ගැළවීම ලබන පිණුස ද , පියාණන් වහන්සේ , උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණෝ අපට සදා-පූජාවක් ලෙස දුන් සේක.

🔥 " එවිට පේදුරු, ''රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ''යි කී ය.එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය. "
( ක්‍රියා 3 : 6 - 7 )

උන්වහන්සේගේ නාමය , ශුද්ධ වූ පේදුරු තුමා , එක් අවස්ථාවක මෙසේ මහිමයට පත් කරන ලදී. එනම් , උන්වහන්සේගේ නාමය තුළ, උන්වහන්සේ කී ලෙසම , සියල්ලන් සුවය ලබන පිණිස ද , උන්වහන්සේ දෙවියන් වහන්සේ බව අදහාගන්නා පිණිසත් ය , එමෙන්ම , " ජේසුස් " යන නාමය ඉදිරියේ සියලූ ජාතීන් දණනමනූ ඇති බව , පිලිප්පි ලිපිය අපට නිසැකවම ප්‍රකාශ කරයි.

🔥 " දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය. "
( හෙබ්‍රෙව් 4:12 )

සැබවින්ම , දෙවියන් වහන්සේගේ වචනයේ ඇති අප්‍රතිහ ශක්තිය ද , සදා-ස්ථීරභාවය ද , සැබවින්ම වචනයෙන් විස්තර් කළ නොහැකි හැඟීම් ද අපගේ හදවත සිසාරා යන්නාහ.

✝️❤️ සුභාරංචිය ජේසුස් වහන්සේම ය ✝️❤️
✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚✚

🔥 නව ගිවිසුමේ සුභාරංචිය ජේසුස් වහන්සේ බව නොරහසකි. එනම් , උන්වහන්සේ වචණයාණන්ගේ මාංශගතවීම මුළු ලෝකයාගේ ගැළවීමේ මාර්ගය අනාවරණය කරන ලදී.

🔥 යමකු උන්වහන්සේගේ වචනය අවභාවිතා කරන්නේ නම් , එය ඔහු  සිය දිවි නසා ගන්නා පුද්ගලයෙකු වැනිය , මන් ද , දේව වචනය යනූ , දෙවියන් වහන්සේම ය , ශුද්ධ ලියවිල්ල යනූ , උන්වහන්සේගේ  දේවානූභාවයේ ලිඛිත සාක්ෂියයි , එම නිසා , යමකූ උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන්නේ නම් , ඔහු නිසැකවම සදා-නිරාගින්නට යටත් වනූ ඇත, එබැවින් සහෝදරවරුනී , ඔබ දේව වචනයට එරෙහිව කතා කිරීමට පෙර දෙවරක් නොව සිය-දහස් වාරයක් සිතන්න.

" යමෙක් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේ ය. එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේ ය.''
( ශු. මතේව්  12:32 )

🔥 අප කිසිවෙකුට දේව වචනය අභිබවා යා නොහැක , යමකු සිතන්නේ නම්  ඔහුට දේව වචනය අභිබවා යා හැකි යැයි කියා , ඔහු තරම් අඥාවන්තයෙකු ගැන මට අඩුගාණේ සිතීමට පවා නොහැකිය. එබැවින් , ඔබ දේව වචනය යොදා ගන්නේ කුමක් සඳහා දැයි නිතරම අවධානයෙන් පසුවන්න , මන්ද යක්ෂයා ද දේව වචනය දන්නා බැවිනි , නමුත් , ඌ ඒ තුළ හැසිරුණේ නැත , යක්ෂයා දේව වචනය යොදාගත්තේ ජේසුස් වහන්සේ හා වාද කිරීමටයි , යමකු දේව වචනය වාදයට හෝ හේදයකට මුල පුරන්නේ නම් , ඔහුට ද සඳාතනික නිරාගින්න ස්ථීර බව දේව වචනයම පවසයි.

" එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය.භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න.මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය. "
( තීතස් 3 : 9 - 11 )

එබැවින් සහෝදරවරුනී , යමකූ දේව වචනයම යොදාගෙන භේද ඇති කරන්නේ නම් , කරුණාකර ඔහුගෙන් ඉවත්වන්න , මන් ද , දෙවියන් වහන්සේම එසේ කියන බැවිනි. උන්වහන්සේගේ වචනය ජීවනයට මාර්ගයක් මිසක භේදයට කාරණාවක් නොවේ.

🔥 " ප්‍රතිඋත්තරවේදය " යනූ , දේවවචනය අවභාවිතා කිරීමක් නොව , අපගේ විශ්වාසය රැක ගැනීමේ සත්‍යතාවයේ සාක්ෂියකි. මා එතෙක් මෙතෙක් දුරට දැක ඇති , හොඳම ප්‍රතිඋත්තරවේදියා උන්වහන්සේමයි , ඔව් , සැබවින්ම ඒ " ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ " . උන්වහන්සේ ප්‍රතිඋත්තර සැපයීමේ දී , අපහාස කළේ නැත , එකිනෙකාගේ වැරදි ප්‍රකාශ කළේ නැත , තමන් පමණක් ජයග්‍රහණය කළ යුතු යැයි සිතුවේ නැත , එකිනෙකා අභිබවා ගියේ නැත , නමුත් , ශුද්ධ ලියවිල්ල අඟ සිට මුලටම කියවා තිබූ , පරිසිවරුන් , විනයධරයන් හා සද්දුසිවරුන් පවා , උන්වහන්සේ පැවසූ කුඩා වචනයකට ද බිය විය. එබැවින් ඔබ පිළිතුරු දීමේදී , අනවශ්‍ය වචන භාවිතා නොකර , අවශ්‍ය දේ පවසා එතනින් ඉවත් වීම ප්‍රමාණවත්බව ඒකාන්තය.

" ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න. "
( 1 පේදුරු 3:15 )

🔥 මන්ද , ඔබ මෙම සේවයන් හෝ ක්‍රියාවන් කරන්නේ ඔබගේ ලෞකික ආශාවන් පිනවීමට නම් හෝ පෞද්ගලික වුවමනාවන් ඉටු කර ගැනීමට නම් එය නිෂ්ඵල ක්‍රියාවකි , එමෙන්ම , දෙවියන් වහන්සේ තුළ ප්‍රසන්න නොවේ , එබැවින් දේව-සේවය තුළ දී , ඔබ නොව දෙවියන් වහන්සේ මහිමයට පත් විය යුතුය , එනම් , දැන් ඔබ නොව දෙවියන් වහන්සේමයි.

"අප ලෝකයේ ජීවත් වුව ද, අප සටන් කරන්නේ ලෞකික චේතනාවෙන් නොවේ. අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය.  එවිට, අන් කෙනෙකුගේ පෙදෙසක කළ සේවයක් ගැන පාරට්ටු කර නොගෙන, ඔබගෙන් ඈත පෙදෙස්වල ද, අපට සුබ අස්න දේශනා කළ හැකි ය. යමෙක් පාරට්ටු කිරීමට කැමැති නම්, සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරාවා''යි "
( 2 කොරින්ති 10 : 3-4, 16-17 )

🔥 එබැවින් ඔබ වචනයක් හෝ ලිවීමට අතහසුරවන විට , ආත්මයාණන් වහන්සේට නතුවන්න උන්වහන්සේ ඔබට මඟ පෙන්වනූ ඇත.

" දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. "
( රෝම 8 : 14 )

💕 සහෝදරවරුනී , අවසානයට පැවසීමට ඇත්තේ එක්දෙයකි , එනම් , දෙවියන් වහන්සේගේ වචනය අවභාවිතා කර සදාතනික නිරා-ගින්නට යට නොවන ලෙස කරුණාවෙන් ඉල්ලාසිටිමි , මන්ද , එසේ වන්නේ නම් අපගේ ඇදහිල්ල ද , පිළිතුරුවේදය ද නිරර්ථකය.

අනාදියේ සිට අප ලුහු                          බඳිනා
ඔබ ශ්‍රී වචනය                        අනන්තයාණනි
දැක්මෙන් අත්දුටු සඳ දිවි                      අපගේ
දුටුවෙමු රාජ්‍ය අනුහස                         ඔබගේ
සුවිශේෂක මහා                          සත්‍යයාණනි
මාංශවත් වී නව                           මිනිසෙක් වී
අධිපතිකම ඔබ දරනා සඳ                         අප
දුටුවෙමු රාජ්‍ය ලක්ෂණ                        ඔබගේ
( කිතු දන පුබුදු ගීතිකා - 129 )

සටහන -  Shaveen Mendis