ආගමන පහන් ටැඹ

• මොකක්ද මේ ආගමන පහන් ටැඹ?
ආගමන සමය තුළ ගතවන එක් එක් සතිය සලකුණු කරමින් ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය කරා අප අධ්‍යාත්මික ගමනක යෙදෙන බව අපට මතක් කර දෙන ආගමික අභ්‍යාසයකි.
• එහි ආරම්භය
වර්තමානයේ සෑම දේවස්ථානයකම ආගමන සමය තුළ මෙම පහන් ටැඹ භාවිතා කරනු දැකිය හැකිය. එහෙත් මෙහි ආරම්භය පිළිබඳව නිශ්චිත තොරතුරු නැත. අතීත ජර්මානුවන් අතර මෙවන් වූ ආලෝකයේ පිළිවෙතක් තිබී ඇත. ඔවුන් ශීත කාලයේදී ඉටිපහන් දල්වා ගෙන මෙම අඳුරු ශීත සෘතුව ගෙවී වසන්තය යළි උදාවන තෙක් බලාපොරොත්තු දල්වාගෙන කාලය ගත කළහ. ස්කැන්ඩිනේවියානුවන් අතරද මේ හා සමාන පිළිවෙතක් භාවිතා වී තිබේ. ඔවුන්ද ශීත සෘතුවේදී රවුම් හැඩැති ලී රාමුවක් මත ඉටිපන්දම් දල්වා, පෘථිවි චක්‍රය යළි හිරු දෙසට යොමු කරන ලෙස ඉල්ලමින් ආලෝකයේ දෙවියන්ට යාච්ඤා කළහ.
මධ්‍යතන යුගය වන විට මෙම පිළිවෙත ක්‍රිස්තියානි පවුල් අතර වඩාත් ප්‍රචලිත විය. පසුව එය භක්ති අභ්‍යාසයක් ලෙස ක්‍රිස්තියානි සම්ප්‍රදායන් අතර මුල් බැස ගත්තේය. කෙසේ වෙතත් වර්ථමානයේ අප භාවිතා කරන, ආගමන පහන් ටැඹේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ජර්මානු ජාතික දේව ධර්මාචාර්යවරයෙකු හා අධ්‍යාපනඥයකු වන ජෝහැන් හින්රිච් විචර්න්ය (Johann Hinrich Wichern, 1808-1881). එහි ආරම්භයද ඉතා සිත්ගන්නා සුළුය. විචර්න්, හැම්බර්ග් නගරයේ දුගී දරුවන් වෙනුවෙන් නිවසක් අරඹා තිබුණි. නත්තල් සමය ළඟා වන විට නොඉවසිලිමත් වන එහි කුඩා දරුවන් තවමත් නත්තල උදාවී නැත්දැයි අසමින් සෑම වසරකම ඇවිටිලි කරන්න විය. මේ සඳහා උපක්‍රමයක් විචර්න් විසින් සොයා ගනු ලැබීය. ඔහු කරත්ත රෝදයක් යොදා ගෙන සාදා ගත් ලී රාමුවක් මත ඉටිපහන් සවි කළේය. ඉරුදිනයන් සඳහා සුදු පැහැ විශාල ඉටිපහන්ද සතියේ දිනයන් සඳහා රතු පැහැ කුඩා ඉටිපහන්ද සවිකර සෑම දිනකදීම එක් ඉටිපහනක් දල්වන්නට විය. ආගමන කාලයේ ආරම්භයේ පටන් එය දල්වන්නට වූ බැවින් දරුවන්ට එමගින් නත්තල් දිනය පිළිබඳව නිතර විමසන්නට අවැසි නොවීය. ඒ 1839 වසරයි. වර්තමාන ආගමන පහන් ටැඹේ ආරම්භය එයයි. පසුව වෙනස්කම් වලට භාජනය වී අද ඉටිපහන් 5ක් පමණක් දක්නට ඇත.
• එහි සැලැස්ම
ආගමන පහන් ටැඹේ සැකැස්ම ඉතා සරලය. එය සකස් කරනු ලබන්නේ රවුම් හැඩැති රාමුවක් මතය. එය ඉටිපහන් සවිකළ හැකි ලෙස සකස් කරනු ලැබේ. ඉටිපහන් සවිකරනු ලබන්නේ රවුම් රාමුව මත සතරක් හා රාමුව මධ්‍යයේ එකක් වන ලෙසිනි. පසුව එම රාමුව කොළ පැහැයෙන් සරසනු ලැබේ. ඒ සඳහා කොළ හෝ වැල් යොදාගනු ලැබේ.
එහි ඉටිපහන් සවිකරනු ලබන්නේ පහත පරිදිය. රවුම් රාමුව මත මුල් ඉටි පහන් දෙක දම් පැහැයෙන් ද ඊළඟ ඉටිපහන රෝස පැහැයෙන් ද යළිත් දම් පැහැ ඉටිපහනක්ද වන ලෙස සවිකරනු ලැබේ. එම රාමුව මධ්‍යයේ සවිකරනු ලබන්නේ සුදු පැහැති ඉටිපහනයි. එම ඉටිපහන් දැල්වෙන්නේද එම අනු පිළිවෙලින්මය.
°ආගමන සමයේ පළමු ඉරුදින - දම් පැහැති ඉටිපහන
°ආගමන සමයේ දෙවන ඉරුදින - දම් පැහැති ඉටිපහන
°ආගමන සමයේ තෙවන ඉරුදින - රෝස පැහැති ඉටිපහන
°ආගමන සමයේ සිව්වන ඉරුදින - දම් පැහැති ඉටිපහන
°නත්තල් මංගලෝත්සව දින - සුදු පැහැති ඉටිපහන
• එහි දේව වන්දනාත්මක පැතිකඩ
වර්ථමානයේ මෙම පහන් ටැඹ පිළිබඳව විවිධ අර්ථකථනයන් මතුව තිබේ. කෙසේ වෙතත් මෙම සෑම අර්ථ ගැන්වීමකම පදනම වී ඇත්තේ එක් නොවෙනස් කිතුනු විශ්වාසයයි. එනම් ක්‍රිස්තුන් වහන්සේ ලෝකයේ ආලෝකය වන බවය. අප සතියක් පාසා දල්වන ඉටිපහන් මගින් අවට ආලෝකමත් වන්නා සේ අප ජීවිතත් ආලෝකමත් වෙමින් ක්‍රිස්තෝත්පත්තියේ මහා මංගලෝත්සවය සඳහා අප සුදානම් කරවන බවය.
මෙහි රවුම් හැඩයට ආරම්භයක් හෝ අවසානයක් නැත. එලෙසින්ම දෙවියන් වහන්සේටද ආරම්භයක් හෝ අවසානයද නැත්තේය. ලෝකයේ ආලෝකය වන ක‍්‍රිස්තුන් වහන්සේ ආරම්භයද අවසානයද වන්නේය. එලෙසම එමගින් අතීතයේ ක‍්‍රිස්තුන් වහන්සේගේ මාංශගතවීමත් වර්තමානයේ උන්වහන්සේගේ වරප්‍රසාදීය වැඩසිටීමත් අනාගතයේදී උන්වහන්සේගේ මහිමාන්විත ආගමනයත් අපට මතක් කර දෙයි.
එම රාමුව සරසා ඇති කොළ පැහැයෙන් සදාතනික ඡීවිතයක්, ගැලවීමේ බලාපොරොත්තුවත් අපට සිහිගන්වයි. එහි සවි කර ඇති දම් පැහැ ඉටිපහන් තුනත් (පළමුවන, දෙවන හා සිව්වන සති) රෝස පැහැති ඉටිපහනත් (තෙවන සතිය) ආගමන සතියේ සති හතර සනිටුහන් කරයි. දම් පැහැය පසුතැවීම හා සිත්හැරීම හඟවයි. රෝස පැහැය සතුට හඟවයි. ඒ අප ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය සැමරීමට ළඟා වීමේ සතුටයි. එම ඉරුදින ගඋඩේතේ (Gaudete) ඉරුදින ලෙසද හැඳින්වේ.
මෙම ඉටිපහන් එකිනෙක දැල්වෙන්නාසේ අපද ක්‍රමයෙන් ක්‍රිස්තෝත්පත්තිය වෙත ළඟාවෙමින් සිටින බවත් එම ආලෝකය තුළ අප ජීවිතත් ආලෝකමත් කරගනිමින් ඒ සඳහා සූදානම් වන බවත් හඟවයි.
මෙහි ක්‍රිස්තු ඉටි පහන වන මධ්‍යයේ ඇති සුදු පැහැති ඉටිපහන දල්වනු ලබන්නේ නත්තල් දින මධ්‍යම රාත්‍රියේදීය.
මෙම ඉටිපහන නත්තල් දින දිව්‍ය පූජාවට සහභාගි වීමෙන් පසුව පවුලක් ලෙස දැල්විය හැකිය. මෙම පහන්ටැඹ ඔබ සැම පවුලක් ලෙස ඒකරාශි කරන භක්ති අභ්‍යසයක් කර ගන්න.
මෙහිලා තවත් එක් අර්ථ ගැන්වීමක් දක්වනු කැමැත්තෙමි.
~පළමු ඉටිපහන - දිවැස්ප්‍රසාදිවරුන්ගේ ඉටිපහනයි
එය බලාපොරොත්තුවේ ඉටිපහනයි. මන්ද දිවැස්ප්‍රසාදිවරුන් ක්‍රිස්තෝත්පත්තියේ බලාපොරොත්තු ඇති කළ හෙයිනි.
~දෙවන ඉටිපහන - බෙත්ලෙහෙමේ ඉටිපහනයි
එය ක්‍රිස්තුන් වහන්සේ ඉතා බැහැපත්ව අප අතරට පැමිණි බව හඟවයි.
~තෙවන ඉටිපහන - එඬේරුන්ගේ ඉටිපහනයි
ක්‍රිස්තෝත්පත්තිය මුලින්ම සැලකරන ලද්දේ එඬේරුන්ටය. මෙම ඉටිපහන ඔවුන් තුළ වූ සතුට අපට හඟවයි.
~අවසාන ඉටිපහන (සිව්වන) - මෙය දේව දූතයන්ගේ ඉටිපහනයි
එය ඔවුන් ගෙන ආ සාමයේ පණිවුඩය සිහිපත් කරවයි.
මේ තුළින් අපව බලාපොරොත්තුවේ, ආදරයේ, ප්‍රීතියේ, සාමයේ සැමරුමක් කරා රැගෙන යයි.
නත්තල,
- බලාපොරොත්තුවේ මංගල්‍යයි
- ආදරයේ මංගල්‍යයි
- ආනන්දයේ මංගල්‍යය
- සාමයේ මංගල්‍යයි
අගරදගුරු පදවි දේව වන්දනා සේවාවේ සම්පාදනයකි